හදිසියේ මතුවූ අයිතිකරුවකු නිසා සුගතදාස පිටියේ ජූඩෝ ඉඩම අවදානමක

587

ඉඩම විකුණා දැමීමේ කුමන්ත්‍රණයක් ද? – පොදු සේවක සංගමය

වසර 40ක් පුරා කොළඹ සුගතදාස අධිකාරිය භුක්ති විඳ ඇති ජූඩෝ සම්මේලනය සඳහා වෙන් කර ඇති ඉඩමට හදිසියේ අයිතිකරුවකු ඉදිරිපත් වී උරුමකම් පෑම නිසා අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පොදු සේවක සංගමය පවසයි.

එම පොදු සේවක සංගමයේ ලේකම් එන්. ජී. කරුණාතිලක මහතා පවසන්නේ මෙම තත්ත්වය තුළ රජය සතු වටිනා ඉඩම්වලට අනාරක්‍ෂිත බවක් නිර්මාණය වී ඇති බවයි. පර්චස් 105ක ඉහත ඉඩම හා එහි සංකීර්ණය ජූඩෝ පුහුණුවීම් සඳහා දැනට භාවිත කරමින් පවතී. පොදු සේවක සංගමය ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.

2024 වසර තුළ මෙම ඉඩම කොටස් කර විකිණීමට සූදානමක් පවතින බව පොදු සේවක සංගමයට ලැබූ තොරතුරකට අනුව 2024.5.13 වැනි දින පොදු සේවක සංගමයේ නිලධාරීන් අධිකාරියේ සභාපතිවරයා ගෙන් විමසීමක් කර ඇත. එහිදී මෙම ගොඩනැඟිල්ල ජූඩෝ ක්‍රීඩාවට ඉතිරි කර ඇති බවත් 1982 වසරේ මෙම ඉඩම බාහිර පුද්ගලයකුට අයිති වී තිබූ බවත්, බාහිර පුද්ගලයා විසින් නාගරික සංවර්ධන අධිකාරියට විකුණා ඇති බවත් එහිදී රුපියල් මිලියන 17ක් ගෙවීමට හිඟ වී ඇති බවත්, එම මුදල සුගතදාස අධිකාරියෙන් ගෙවිය යුතු බවත් පවසා සුගතදාස අධිකාරියට නඩත්තු කටයුතු සඳහා ලබාදී ඇති බවත් එම මුදල ගෙවන ලෙස අධිකාරියට සිහි කැඳවීම් කළත් නොගෙවා ඇති බැවින් දැනට තිබෙන වටිනාකමට ගෙවීමට සිදුවී ඇති බවත් එම මුදල ගෙවීමට නොහැකි නම් සුගතදාස අධිකාරියෙන් ඉඩම අත්හරින ලෙස පවසා ඇති බව සුගතදාස අධිකාරියේ සභාපතිවරයා අප සංගමයට පවසන ලදී. ඒ අනුව එතරම් මුදලක් ගෙවීමට නොහැකි බැවින් අධිකාරිය එම ඉඩම අත්හරින බව වැඩිදුරටත් පවසන ලදී. කෙසේ වෙතත් මේ මොහොතේ නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් අමාත්‍යාංශය එකතුව ඉතා වටිනා කොළඹ බ්ලූමැන්ඩල් පාරට මායිම්ව ඇති ඉඩම කෝටි ගණනක් වටිනා දේපළ කොල්ලකෑමට සැරසීමක් බවට චෝදනා කරති.

ඒ වගේම මේ සිදුවන සිදුවීම් රජයේ විගණන අංශයට දැනුම් දුන්න ද ඔවුන් නිහඬ නිසා දැනුවත් කර නැති බවද එම සංගමය කියයි.

ඡායාරූපය – බුද්ධික ඩී. රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment