හබරණ අලි වංගුවේදී බස් වෑන් ගැටීමෙන් දෙදෙනෙක් මරුට

33

35 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරයි

හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හබරණ අලි වංගුව ප්‍රදේශයේදී පෙරේදා 01 දින පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තවත් 35දෙනෙකු තුවාල ලබා හබරණ ප්‍රාදේශීය රෝහලට හා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

රිය අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ආර්. මොහොමඩ් රියාද් සහ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ටී.ඩී. නන්දාවතී නැමැති 66 හැවිරිදි බස් රථයේ ගමන් ගත් කාන්තාවකි.

පෙරේදා උදේ 10.30ත් 10.45ත් අතර කාලයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ පෞද්ගලික බස් රථය වන්දනා නඩයක් රැගෙන ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ සිට ත්‍රීකුණාමලය බලා ගමන් කරමින් සිටි බවත් වෑන් රථය ත්‍රීකුණාමලය කින්නියා ප්‍රදේශයේ සිට විදේශගත වීමට සිටි අයෙකු රැගෙන කටුනායක ප්‍රදේශය බලා ධාවනය වෙමින් තිබූ වැන් රථයක් බව රිය අනතුරු පිළිබඳ පරීක්ෂණ පවත්වන හබරණ පොලිසියේ නිලධාරීයකු සඳහන් කළේය.

මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ 32 හැවිරිදි ත්‍රීකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහු දෙදරු පියෙකි. අනතුරින් මිය ගිය කාන්තාව බස් රථයේ ගමන් ගත් හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 66ක කාන්තාවකි. අනතුරින් තුවාල ලැබූවන්ගෙන් 07 දෙනෙකු හබරණ ප්‍රාදේශීය රෝහලේත් අනෙක් පිරිස දඹුල්ල මූලික රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වෑන් රථයේ රියැදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය විසින් සැක කරන අතර අනතුරෙන් වෑන් රථයට බරපතළ හානි සිදුවී තිබේ. අනතුරෙන් පසු බස් රථය වෑන් රථයේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබිණි.

අනතුරට පත් බස් රථයේ අනතුර සිදුවන අවස්ථාවේ 55 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් ත්‍රීකුණාමලය හා යාපනයේ දෙදින වන්දනා චාරිකාවක නිරත වීම සඳහා පෙරේදා අලු‍යම හික්කඩුව ප්‍රදේශයෙන් ත්‍රීකුණාමලය බලා පිටත්ව ඇත.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිසාන් ද සිල්වා හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලේ, හබරණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගන්සේකර, රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.පී. ආරියරත්න යන නිලධාරීන් රිය අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර හබරණ ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබිණි.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර, කන්තලේ – ඩබ්ලිව්.එම්. වික්‍රමසිංහ


advertistmentadvertistment