උදරාබාධයට ප‍්‍රතිකාර ගත් අක්කයි, මල්ලියි කොවිඞ්වලින් මරුට

579

පූගොඩ පොලිස් වසමේ යකඹේ ප‍්‍රදේශයේ පොල් ඉඩමක් තුළ පිහිටි අඩක් නිම කළ නිවසක තිබී මියගිය එකම පවුලේ දෙදෙනෙකුගේ සිරුර සොයාගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එකම පවුලේ අවිවාහක අක්කා (43) සහ මල්ලී (38) බව  පූගොඩ පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

මියගොස් ඇති දෙදෙනාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමි පුරුෂයා විසින් මෙම සිරුරු දෙක දැක පසුව පොලිසියට දන්වා තිබේ.

කෙසේ වෙතත් මියගිය දෙදෙනා පසුගිය දින කිහිපයේදී උදරාබාධයක් හේතුවෙන් ප‍්‍රතිකාර ලබාගෙන ඇති බව ඥාතීන් පවසයි. එම දෙදෙනාට පසුගිය 03 වන දින උදෑසන බෙහෙත් ලබාදීම සඳහා මියගිය අයගේ මස්සිනා ඔවුන් පදිංචි නිවසට ගිය අවස්ථාවේ එම දෙදෙනා මියගොස් බිම වැටී සිටිනු දැක තිබේ.

පසුව මියගිය දෙදෙනා සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පූගොඩ පොලිසියේද සහාය ඇතිව මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල මූලික රෝහල කරා ගෙන ගොස් එහිදී සිදුකළ කොවිඞ් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ මියගිය දෙදෙනා කොවිඞ් ආසාදිතයන් බවයි.

මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරමින් රෝහල් අධිකරණ වෛද්‍යවරයා නියෝග කර ඇත්තේ, සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරන ලෙසයි. එසේම මළ සිරුරු ආදාහනය නොකර භූමදානය කරන ලෙස කරන ලද දැනුම්දීම අනුව යුධ හමුදාවේ මැදිහත් වීමෙන් මඩකලපුව ඔට්ටමාවඩි වෙත රැුගෙන යෑමට පියවර ගෙන ඇත.

පූගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පො.ප. පි‍්‍රයන්ත චන්ද්‍රසේකර මහතා ඇතුළු උ.පො.ප. කරුණාරත්න සහ මංජුල යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ කර ගෙන යති.

කිරිඳිවැල සෝමපාල තැලිගම
 

advertistmentadvertistment
advertistmentadvertistment