ලොව උණුසුම් ම වසර ලෙස පසුගිය 2024 වර්ෂය වාර්තා තබා ඇත. එය කෙතරම් ද කිවහොත් කාර්මික යුගයට පෙර කාලයට සාපේක්ෂව පළමු වරට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.6 (1.6 0C) ක වැඩිවීමක් වාර්තා විය. මෙතෙක් ලොව වාර්තාවූ උණුසුම් ම දිනය 2024 ජූලි 22 දා වන අතර එදින මධ්‍යන්‍ය ගෝලීය උෂණත්වය සටහන් වූයේ සෙල්සියස් 17.16 (17.16 0C)ක් ලෙසයි. මේ තත්ත්වය මත අනපේක්ෂිත ආන්තික කාලගුණ තත්ත්ව, තාප තරංග, නියඟය, ළැව් ගිනි, සුළි කුණාටු සහ ගං වතුර ආදී ආපදා ඉතා ප්‍රභල තත්ත්වවලින් ඇතිවූ අතර ලොව පුරා බිලියන 5ක පමණ ජනතාවක් බලපෑමට ලක්වූ බව අන්තර්ජාල දත්ත මගින් තහවුරු වේ.
2025 වසර කෙසේ වේදැයි තාමත් කිව නොහැකි වුවත් මේ වනවිට ද දැඩි උෂ්ණත්වයක් සමග පවතින අපහසු අසහනකාරී තත්ත්වය ගැන නැවත වාරයක් දිවයින පුරා ම සාකච්ඡා වෙමින් පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පුරෝකතන සපයන අතර මෙම තත්තවය හේතුවෙන් ඇතිවන අවදානම වෛද්‍යවරුන් මාධ්‍ය මගින් කොතෙක් ජනගත කළ ද පාසල් පද්දතියට නම් ඇසෙන බවක් නොපෙනේ. බොහෝ අවස්ථාවල නිසි සෞඛ්‍ය පියවරයන් නොමැතිව දහවල් කාලයේ දී නිවාසාන්තර ක්‍රීඩා තරග වෙනුවෙන් දරුවන් පුහුණු වීම් කරන අකාරය දැකිය හැක විය. මේ පිළිබඳව “බලධාරීන්ගේ ඇස් කන් ඇරේවා” කියා ප්‍රාර්ථනා කරමු!
සාමන්‍යයෙන් මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල මෙම උණුසුම් තත්ත්වය වැඩි වශයෙන් මිනිස් සිරුරට සංවේදනය වේ. ඒ පිළිබඳව විද්‍යාත්මක කරුණු ද සහිතව සරලව විමසා බලමු. නීරෝගී මිනිස් සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.1 (36.1 0C)සිට සෙල්සියස් අංශක 37.2 (37.2 0C) අතර වෙනස් වන බව සාමාන්‍ය පිළිගැනීමයි. සූර්ය ශක්තිය මෙන්ම පොළොවෙන් පිටවන තාප තරංග ආදිය ද හේතුවෙන් ඔබ ජීවත් වන පරිසරයේ වායුගෝලයේ යම් උෂ්ණත්වයක් පවතී. මෙම වායුගෝලීය උෂ්ණත්වය අපට සාමාන්‍ය පරිදි සංවේදනය වේ.
නමුත් සිරුර වෙහෙසෙන ක්‍රියාවකදී සිරුර තුළ නිපදවෙන තාපය හේතුවෙන් ශරීර උෂ්ණත්වය ඉහළ යන නමුත් ස්වාභාවිකව එම වැඩිවීම යාමනය හෙවත් පාලනය කිරීමට මිනිස් සිරුර හැඩ ගැසී ඇත. දහඩිය දැමීම එම ක්‍රියාවලිය යි. දහඩිය වාෂ්ප කිරීම සඳහා සිරුර තුළ නිපදවන අමතර තාපය භාවිත වන බැවින් සිරුර තුළ උෂ්ණත්ව වැඩිවීම පාලනය වේ.
සාගර, ගංගා, ඇළ, දොළ ආදියෙන් ජලය වාෂ්ප වන අතර වායුගෝලයේ පවතින මෙම ජල වාෂ්ප ප්‍රමාණය සාපේක්ෂ ආර්ද්‍රතාවය ලෙස හැඳින්වේ. එය සංඛ්‍යාත්මකව ප්‍රතිශතයක් ලෙස දක්වයි. වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය වැඩි වනවිට සාපේක්ෂ ආර්ද්‍රතාවය ද වැඩිවේ.
වායුගෝලීය උෂ්ණත්වය මිනිස් සිරුරට දැනෙන ආකාරය වෙනස් කිරීමේ හැකියාවක් වායුගෝලයේ පවතින ජල වාෂ්පවලට ඇත. උදාහරණයක් ලෙස වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස් දෙකක් (32 0C) ලෙස පවතිනවිට වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සියයට හැත්තෑවක් (70%) පමණ නම් සාමාන්‍ය සෙල්සියස් අංශක 32 (32 0C) ක උෂ්ණත්වයම සිරුරට සංවේදනය වේ. නමුත් මෙම උෂ්ණත්වයේ දීම ආර්ද්‍රතාවය සියයට අසූවක් (80%) පමණ වනවිට වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස් දෙකක් (320C) වුවද මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස් නවයක් හෝ හතළිහක් (39 0C හෝ 400C) පමණ වේ. සාමාන්‍යයෙන් ඉදිරි කාලසීමාවේදී ( අප්‍රේල් සහ මැයි) ශ්‍රී ලාංකේය ජනතාවට අත්විඳිමට සිදුවන්නේ මෙම තත්ත්වයයි. මීට අමතරව මෙම කාල සීමාවේ දී ලංකාව තුළ උෂ්ණත්වය ද සැලකිය යුතු ඉහළ අගයන් වාර්තා වී ඇති අතර මේ වන තෙක් දිවයිනේ වාර්තා වූ ඉහළම උෂ්ණත්ව කිහිපයක් පහත වගුවේ දැක්වේ (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත ඇසුරිණි)
නගරය දිනය වාර්තා වූ උපරිම උෂ්ණත්වය (0C)
වවුනියාව 1983-04-10 40.1
ත්‍රිකුණාමලය 1890-05-13 39.8
අනුරාධපුරය 1983-04-10 39.6
කුරුණෑගල 2007-03-27 39.4
මඩකලපුව 1915-06-19 39.0
පොලොන්නරුව 2012-10-05 39.0
මෙය තවදුරටත් විද්‍යාත්මකව පැහැදිලි කරමු. ශ්‍රී ලංකාව සමකය ආසන්න දූපතක් වන අතර ඉහළ සූර්යාලෝකයක් ලැබේ. එසේම අප්‍රේල් මස ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සූර්යයා මුදුන් වීම ද මැයි මස මුල් සති දෙකේදී පමණ එහි බලපෑම යම් තරමකට පැවතීම ද සිදුවේ. මේ නිසා ජලාශවලින් ජලය වාෂ්ප වීමේ ක්‍රියාවලිය වැඩි වන බැවින් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය ද වැඩිය. එවිට ඉහතින් සඳහන් කළ පරිදි අඩු වායුගෝලීය උෂ්ණත්වයක් වුවද මිනිස් සිරුරට ඊට වඩා වැඩි උෂ්ණත්වයක් ලෙස දැනීමට පටන් ගනී. අප්‍රේල් සහ මැයි යන කාල සීමාවල ලංකාව ආශ්‍රිතව ජලය වාෂ්ප වීම වැඩි නිසා වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සියයට අනූවක් (90%) වැනි ඉහළ අගයන්වල පවතී. එවිට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ඉතා ඉහළ අගයක් බවට පත් විය හැක. අමතරව වායු ගෝලයේ ජල වාෂ්ප වැඩි බැවින් සිරුරෙහි ඇතිවන දහඩිය වාෂ්ප වීමේ ක්‍රියාවලිය අඩු වන නිසා සිරුර තුළ නිපදවෙන අමතර තාපය සිරුරෙන් ඉවත් වීමක් සිදු නොවේ. මේ නිසා දහඩිය ද්‍රව ලෙස සම මතුපිටින් ගලායෑම ද සිදුවේ. අපහසු අසහනකාරී තත්ත්වයක් ඇති වන්නේ මේ කරුණු හේතුවෙනි.
මෙම සංසිද්ධිය පිළිබඳව විද්‍යාත්මක විවරණයක් කිරීම සඳහා විද්‍යාඥයන් විසින් තාප දර්ශකය (Heat Index) නම් රාශියක් අර්ථ දක්වා ඇත. තාප දර්ශකය උෂ්ණත්වයක් ලෙස දැක් වුවද එය සාමාන්‍ය වායු ගෝලීය උෂ්ණත්වය නොවේ. සාමාන්‍ය වායු ගෝලීය උෂ්ණත්වය සහ වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය යන රාශීන් දෙක ගණිතමයව සංකලනය කර එමගින් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ගණනය කර එය තාප දර්ශකය ලෙස හඳුන්වයි.
වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය ඉහළ යනවිට එම තාප දර්ශකය ද ඉහළ අගයක් වන අතර ඉන් අදහස් වන්නේ සිරුරට දැනෙන සංවේදනය ඉතා අපහසු අසහනකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වන බවයි. තාප දර්ශකය ස්ථානයෙන් ස්ථානයට වෙනස් වන අතර දවසේ සලකනු ලබන කාල සීමාව අනුව ද වෙනස් වේ.
තාප දර්ශකය ඉහළ අගයක් වීම මිනිසා ඇතුළු සතුන්ට මෙන්ම ශාකවලට ද අහිතකර බලපෑම් ඇති කරයි. (සටහන අන්තර්ජාලයෙනි)
27-38
සාමාන්‍ය
39-45
අවධානය යොමු කළල යුතු (යම් අවදානමක් ඇත )
46-52
වැඩි අවධානයක් යොමු කළ යුතු (ඉහළ අවදානමක් ඇත)
52 ට වැඩි
ඉතා ඉහළ අවධානම් (අනතුරුදායක)
තාප දර්ශකය ඉහළ මෙම කාලසීමාවේදී අපගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ඉතා දැඩි අවධානයක් යොමු කළ යුතුය. එහිදී පහත කරුණු ඉතාමත්ම වැදගත් වේ.
කුඩා ළමුන් වැඩිහිටියන් සහ ආබාධිත අය පිළිබඳව ඉහළ අවධානයක් මෙම කාලයේ දී යොමු කළ යුතුය. ඔවුන්ට හැකිතාක් පිරිසිදු ජලය හෝ සුදුසු බීම වර්ගයක් පානය කිරීමට සැලැස්විය යුතුයි.
එළිමහනේ වැඩකරන ජනතාව වැඩ කරන අතරතුර කෙටි විවේක කාලයක් ලබාගත යුතුය. විශේෂයෙන්ම ජලය හෝ වෙනත් සුදුසු බීම වර්ගයක් සාමාන්‍ය දිනකදී වඩා වැඩිපුර භාවිත කිරීම වඩාත් සුදුසුයි.
හිරු එළියට නිරාවරණය නො වන සේ එළිමහනේ වැඩ කටයුතු කළ යුතුයි.
එළිමහනේ වැඩ කරනවිට ළා පැහැති සුදුසු ඇඳුමක් ඇඳීම මෙන්ම තොප්පියක් පැළදීම ද ආරක්ෂාකාරී පියවරක.ි
හැකිනම් උදෑසන 11.00 සහ සවස 3.00 අතරතුර දී එළිමහනේ වැඩ කිරීම අවම කළ යුතුයි.
මද්‍යසාර මෙන්ම තේ, කෝපි වැනි උණුසුම් පාන වර්ග භාවිත කිරීම ද ඉතා අහිතකරය.
නිවෙස් තුළ උෂ්ණත්වය වැඩිවන පරිදි උදුන් ආදිය ක්‍රියාත්මක කිරීම අඩු කළ යුතුයි.
නිවස තුළ සිටිය දී වඩාත්ම සිසිල් ස්ථානයක් තෝරාගත යුතුයි. විශේෂයෙන් රාත්‍රී කාලයේදී නිවසේ සිසිල්ම ස්ථානයක සිටින්න.
දිවා කාලයේදී එළිමහනේ ඇවිදීම, හැකිතාක් අඩු කරන්න.
සිරුර වෙහෙසන ක්‍රියාවලි හැකිතාක් අඩු කළ යුතු අතර අවශ්‍ය නම් උදෑසන 4.00 සිට 7.00 දක්වා උණුසුම අඩු කාල සීමාව භාවිත කරන්න.
මෙම කාල සීමාවේ දී ඔබට අලස දුර්වල සහ අකර්මණ්‍ය ගතියක් සමග පිපාසය හෝ හිස කැක්කුම ඇති වේ නම් සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති පරිදි වහාම වඩා සිසිල් ස්ථානයකට යා යුතු අතර ජලය පානය කිරීම මගින් සිරුරේ ජල ප්‍රමා වැඩි කරගත යුතුය.
මෙම තත්ත්වය හේතුවෙන් යම් අපහසුතාවයක් ඇති වූ අයකු සිටීනම් ඔහු හෝ ඇය සිසිල් වූ ස්ථානයකට ගෙනගොස් ඇඳක හෝ බිම දිගාකර සුදුසු පරිදි ඇඳුම් ඉවත් කිරීමේ පහසුකම් සැලසිය යුතු අතර අවශ්‍යතාවය අනුව සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට යොමුකළ යුතුය.
චමින්ද ද සිල්වා
කාලගුණ විද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ