පීපින් ටොමිලාගේ හදවිල කළඹන යතුරු හිල

154

පීපින් ටොම්ස්ලා සමාජයේ ඕනෑතරම්

සමාජයේ ජීවත්වන බොහෝ අය විවිධාකාර වූ මානසික තත්ත්වයන් මුදාහරින්නෝ වෙති. ඒ වැඩිදෙනෙක්ට සාමාන්‍ය ජීවිතයේදී තමන්ට එවැනි මානසික විගටනයන්, පෞරුෂ ආබාධයන් ඇති බවක් පෙනෙන්නේ නැත.

පසුගිය සතියේ ඒ පිළිබඳ පළමු ලිපිය පළවූ අතර මේ එහි දෙවැනි කොටසයි!

ගල්කිස්සට නුදුරුව තිබුණ නාගරික ප්‍රදේශයක එක්තරා තරුණයෙක් හිටියා. ඔහුව ප්‍රදේශවාසීන් විසින් හඳුන්වලා තිබුණේ ‘තෙලා’ කියලයි. ඔහුට අරුමාකාර චර්යාවක් තිබුණා. මහ රෑ ඇඟපුරාම ග්‍රීස් ගාගෙන රහසේ ම අහල පහළ ගෙවල්වලට ගිහිල්ල ජනේල අතරින් ඇති සිරස්වලින් කාමරවල ඉන්න අඹුසැමියන් හැසිරෙන ආකාරය බලන එකයි ඒ. මේ හැසිරීම ගැන පළාත් වාසීන් දැනගෙන සිටියත් ඔහුට විරුද්ධව පැටලෙන්නට ගියේ නැත්තේ ඔහු මැරයෙක් බවටත් පතල වෙලා තිබුණ නිසා.

ඒත් චණ්ඩින්ව ගණන් නොගෙන ඉන්න පිරිමියෙක්ගේ ගෙදරක් තෙලා ග්‍රීස් ගාගෙන අර විදියට ම බලන්ට ආවා. තෙලාට වැඩ වැරදුනේ එතැන දී. තෙලාව එළවගෙන ආපු මේ නාගරික තරුණයා එල්ල කළ කඩු පාරකින් තෙලාගේ දකුණු අත මැණික් කටුව ගාවින් වෙන්වෙලා ම ගියා.

මේ අරුමාකාර චර්යාව විග්‍රහ කර ගන්නේ කොහොම ද? සමාජ විද්‍යාවේදී හා මනෝ විද්‍යාවේදී මෙම චර්යාව හඳුන්වා දී ඇත්තේ දර්ශනකාමීත්වය (voyevrism) ලෙසට ය. ලෝකප්‍රකට මනෝවිද්‍යාඥයකු වන ජේම්ස් කෝල්මන්ට අනුව මෙම චර්යාව මෙලෙසට විග්‍රහකර ගත හැකිය. දොරක හෝ ජනේලයක සිදුරුවලින් හෝ කිසිවකුට නොදැනෙන්නට රහසිගතව තවත් තැනැත්තියකගේ හෝ තැනැත්තකුගේ නිරුවත් සිරුර (Naked Body) හෝ තවත් අයගේ ලිංගික ක්‍රියාකාරකම් (Sexual Activities) නැරඹීම සිදුකිරීම ය.

අදටත් මෙම චර්යාවට අනුගත තැනැත්තන් හඳුන්වා ගන්නට බටහිර ජනවහරේ යෙදෙන්නේ (Peeping Toms) යන පදය යි. දොරවල ඇති යතුරු හිල්වලින් හෝ ජනේල සිදුරු අතරින් කාන්තාවන් ස්නානය කරන, සයනය කරන, ඇඳුම් මාරුකරන ආකාරය දැක ගැනීමට ඔවුහු වෙර දරති. මනෝවිද්‍යාඥයන් මෙම චර්යාව හඳුන්වාදීමට තවත් වදන් ද්විත්වයක් ද භාවිත කරති. Scotophilia සහ inspectionalism මෙම වදන් ද්විත්වය යි.

මෙම චර්යාවට අනුගත වූවන්ගෙන් බහුතරය පිරිමින් ය. එහෙත් ඇතැම් පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇත්තේ කාන්තාවන් ද මෙම අස්වාභාවික චර්යාවට යොමුව පවත්නා බව ය. එහි අනුපාතය 1/3ක් ලෙසට සඳහන් වේ.

දර්ශනකාමීන් බොහෝ විට තම ඉලක්ක හඹායෑම සහ ඔවුන්ව දැකබලා ගැනීම පිණිස බොහෝ තැන් තෝරා ගනිති. මුහුදු වෙරළ, උයන්වතු, ස්ත්‍රීන්ගේ නේවාසිකාගාර, අඹුසැමියන් පමණක් වෙසෙන නිවාස ඒ අතරින් ද විශේෂ ය.

තමන් රහසින් දකින නිරුවත් දසුන යළි සිහියට නඟාගෙන ස්වයං වින්දනයෙහි යෙදීම මෙම දර්ශනකාමීන්ගේ පරමාර්ථ සාධනය යි. එහෙත් මේ කරණය ඉටුකර ගැනීමට යෑමේ දී ඔවුන් බරපතළ ගැටලු හා ඇතැම් විට මාරාන්තික තුවාල ද ලබති.

දර්ශනකාමීන් වර්ගීකරණ කිහිපයකට බෙදා දැක්විය හැකි ය.

  1. කාන්තාවන්ගේ සහ දැරියන්ගේ නග්න සිරුරු සහ චර්යාවන් දැකබලා ගන්නට රුචිකරන්නවුන් (Girl watching )
  2. පිරිමින්ගේ නිරුවත් සිරුර, චර්යාවන් දැක ගන්නට රුචිකමක් දක්වන්නා වූ පිරිස් (Boys watching)
  3. පොදුවේ තැනැත්තන්ගේ රහස්‍ය චර්යාවන් දැක ගැනීමට ප්‍රියකරන අය (Peoples watching )

බොහෝ මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දර්ශනකාමීත්වයට ලොල් වූ බහුතරයක්ම අය විවාපත්ව මැදිවිය ගත කරන තැනැත්තන් වන බව ය. ඔවුහු තම බිරිඳට, දරුවන්ට හොරා මෙම අවකල් චර්යාවේ යෙදෙති.

දර්ශනකාමියකු (voyeristic) සමාජය තුළ ඕපපාතිකව බිහිවන්නේ ද නැත. ඒ සඳහා බොහෝ මනෝ සහ සමාජ විද්‍යාත්මක කාරණාවන් බලපෑම් කරන බව ඔබ වටහා ගැනීම වැදගත් ය. අවුරුදු 15 – 16 වනතුරු ම තමන්ට ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ ලිංගික ඉන්ද්‍රියයන් පිළිබඳව කුතුහලයක් දරුවන් තුළ ඇත. පෙර පාසල් දරුවකු තම වයසේම සිසුවියකගේ ඇඳුම් උස්සා බැලූ අවස්ථාවක කොලුපැටවාට හොඳහැටි බැණ ගුටිබැට දුන් පෙර පාසල් ගුරුවරියන් ගැන මේ ලිපිය ලියන මා ද දනී. ‘ලිංගික කුතුහලය’ පිළිබඳ කාරණාවන් හරිහැටි දරුවන්ට වටහා දෙන්නට හෝ ඒ පිළිබඳව කියා දෙන්නට තරම් දැනුමක් ටෙලිනාටක තොග ගණන් බලන අපේ අම්මලාට නැත. එබඳු අම්මලා සහ පෙර පාසල් ගුරුවරියන් හොඳහැටි දරුවාට තලා ‘වල්කම’ හැඩගසා ගන්නට වෙර දරති. අවසානයේ කාන්තාවන්ගේ රහසඟ රහසින්ම බලන දර්ශනකාමියකු බිහිවීමට ද මෙය හේතුවක් වෙයි. බොහෝ පර්යේෂකයන් ප්‍රකාශ කරන ආකාරයට මෙම අසම්මත චර්යාවට පුද්ගලයන් යොමුවන්නේ තනිවම ය. කණ්ඩායම් පිටින් හෝ රංචු ගැසී මෙම චර්යාවට යොමුවීම දැකගත හැක්කේ මද වශයෙනි. මෙයට බලපාන ප්‍රධානතම කාරණාවන් ලෙසට ඉස්මතු වන්නේ සමාජ අපකීර්තියෙන් ගැලවීම සමාජ අවමානයෙන් ගැලවීම සහ නීතියෙන් ගැලවීම ය.

කාම අපරාධ සහ ලිංගික මනෝ ව්‍යාධීන් පිළිබඳව සුපතල පර්යේෂකයකු වූ Pavi D River ප්‍රකාශ කරන්නේ “පුද්ගලයකු දර්ශනකාමියකු වීමට බලපාන හේතු සාධක ගණනාවක්ම තිබෙනවා. ඒ අතරින් වැදගත්ම දේ තමයි යෞවන වියේදී ඔහු ලිංගිකත්වය පිළිබඳ ලැබූ අත්දැකීමක්. නො එසේ නම් නිරුවත් දර්ශනයක් (ලිංගික හැසිරීම් පිළිබඳව) මේ සාධකයන් මගින් පොළඹවන ලද ඔහු පසු කලෙක මෙම චර්යාවට අනුගත විය හැකිය” යනුවෙනි.

තවත් කරුණක් මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. තරුණයකු අලුත විවාපත් සැමියකු, ස්ත්‍රියක තම සැමියාගේ, බිරිඳගේ නිරුවත බලන්නට කැමතිවීම අරුමයක් නොව, ස්වභාවික කාරණයකි. එහෙත් ‘දර්ශනකාමියා’ තමන්ගේ බිරිඳගේ සහකාරියගේ නිරුවත දකිනවාට වඩා ප්‍රියකරන්නේ අහළ පහළ අංගනාවන්ගේ නිරුවත් බව සහ ප්‍රේමාලිංගන දැකබලන්නට ය. විකෘතිය ඇත්තේ එතැන ය.

බටහිර මෙන්ම බොහෝ ආසියාතික රටවලට ද මෙම චර්යාවට ඇබ්බැහි වූ මිල මුදල් යහමින් ඇති උදවිය සජීව ලිංගික දසුනක් දැකබලා ගැනීමට නිරුවත් රංගනයන් පවත්වන සමාජ ශාලාවලටත්, ගණිකා මඩම්වලටත් ප්‍රවේශවෙති. එහෙත් දුගී දර්ශනකාමීන්ට මෙබඳු අවස්ථාවන් ලබාගැනීම බොහෝ සෙයින් ම දුෂ්කර ය. ඔවුන් තම මනදොළ සපුරාගන්නේ රාත්‍රි ජාමයේ අහළ පහළ ගෙවල්වල ජනේල දොරවල්වලට මුවා වෙමිනි. මෙබඳු චර්යාවන්ට පුද්ගලයකු යොමුවීමට ඇතැම් සමාජයීය සාධක ද බලපා ඇත. තරුණියන්ගේ චර්යාවන් හා ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් මෙන්ම ඔවුන්ගේ හැසිරීම් රටාවන් ද මෙහිලා ප්‍රබල බලපෑමක් ඇති කරන වග නොරහසකි. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ දී දකින මෙබඳු සිදුවීම්වලට පුද්ගලයකු අනුගත වුවහොත් උද්ගත වන තත්ත්වය ද ඇතැම් විට බිහිසුණු සිදුවීමකින් කෙළවර විය හැකි ය.

අඹුසැමියන් දෙපළක් ලිංගික වශයෙන් හැසිරෙන විට ආගන්තුකයකු එම චර්යා රහසිගතව නරඹන විට තවත් තැනැත්තකුට එය හසුවුවහොත් උද්ගත වන තත්ත්වය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මොවුන් වෙතින් අතැම් අවස්ථාවල බරපතළ සමාජ ගැටලු ද ඉස්මතු විය හැක්කේ ය. Coleman නම් වූ මනෝවිද්‍යාඥයා සඳහන් කරන ආකාරයට ඇතැම්විට මෙබඳු පුද්ගලයන්ට තම හැඟීම් ආශාවන් පාලනය කර ගැනීමට ද නොහැකි වන අවස්ථා ඉස්මතු විය හැකි ය.

නිරුවත් හෝ අඩ නිරුවත් තැනැත්තියක් දෙස මෙලෙස රහසිගතව බලා හිඳින තැනැත්තකුට හදිසියේම ඇයව සිපගෙන ඇයට ලිංගික අතවර කිරීමේ චෛතසිකයන් ද ඇතිවිය හැක්කේ ය. මෙබඳු අවස්ථාවන්වල හොඳින් හෝ නරකින් තම අභිලාෂයන් සමනය කර ගන්නට ඔහු උත්සාහ ගනු ඇත. මෙම චර්යාව පිළිබඳ වඩාත් ගැඹුරින් අධ්‍යයනය කළ කෝල්මන් ප්‍රකාශ කරන්නා වූ වැදගත් සාධකයන් ද බොහෝ ය. දර්ශනකාමීත්වයට ලොල් වූ කාන්තාවන් ද සිටින අතර යුද්ධමය අවස්ථාවල දී සහ ආරෝග්‍යශාලාවල ශෛලකර්ම කරන අවස්ථාවලදීත් ඔවුන් තම සිතැඟි සපුරා ගනිති. තවද දර්ශනකාමීත්වයට ගොදුරු වූ පිරිස් අතර වියපත් කතුන් ද වෙති. දර්ශනකාමීන්ගෙන් බහුතරය වන විවාහක දර්ශනකාමීන් (Married voyer ) තම තමන්ගේ පවුල් ජීවිතවලට ප්‍රබල බලපෑම් ඇති කරති.

(James C. Colemam – Abnormal Psychology and Modern life)

බොහෝ අවස්ථාවල දී විවාහක දර්ශනකාමියා තමාගේ භාර්යාව සමග ආරවුල් ඇතිකර ගනී. ඔවුන් අතර සාමාන්‍ය ජීවිතයේ දී මෙන්ම ලිංගික ජීවිතයේ දී බොහෝ ගැටලු ඉස්මතුව තිබිය හැකි ය. ඔවුන් තමන් පෙළන මානසික අවපීඩනයෙන් ගැළවෙන්නට මෙබඳු චර්යාවකට අනුගත වූවාද විය හැකි ය.

මෙබඳු විවාහක දර්ශනකාමීන්ගේ පවුල් ගැටුම් සහගත පවුල් ( Confilcted Family) ලෙසට සමාජ විද්‍යාඥයන් නිර්වචනය කරති. මෙබඳු චෛතසිකයන් ඇතැම්විට ඕනෑම තැනැත්තකු තුළ ඇතිවිය හැක්කේ ය. එය අසාමාන්‍යතාවක් නොවේ. තවත් මතවාදයක් වන්නේ කුඩා කල සිට ම ලිංගිකත්වය පිළිබඳ අතිශයින් ආගන්තුක සහ ලජ්ජාශීලිත්වයකට පත් වූවන් අතින් ද තම ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සමග සබඳතා අවම වශයෙන් පවත්වා ගැනීමට හැකි වූ අය අතරින් ද මේ චර්යාව ඉස්මතු විය හැක්කේ ය. මෙම චර්යාවට අනුගත වීමෙන් තමන් ඉදිරියට හා ගතකර ලබාගත යුතු ලිංගික අවශ්‍යතා ( Sexual needs) මෙම චර්යාවට යොමුවීමෙන් ලබාගනිති.

කුඩා කාලයේ දී ලිංගික හිංසනයකට හෝ අපයෝජනයන්ට ලක්වීම මත්ද්‍රව්‍ය හෝ මත්පැන්වලට තදින් ඇබ්බැහිවීම ද මෙබඳු චර්යාවකට ගොනුවීමට හේතු පාදක වෙයි. එසේම අධිලිංගික ක්‍රියාකාරිකයන් අතර ද (Hypersexuality) මෙම චර්යාවන් ද ප්‍රකටව පවතී.

තවද විශේෂයෙන් ම ස්ත්‍රියක සගින් තමන්ට සබඳතාවක් ඇතිකර ගැනීමට නොහැකි යැයි ද තමන් දුබල තැනැත්තකු යැයි ද සිතන අවට ආත්ම ශක්තීන් ද ඇති පුද්ගලයන් වෙතින් ද මෙබඳු චර්යාවන් ඉස්මතුවීමට ඇති ඉඩකඩ බොහෝ ය. තමන් සතුව එබඳු බලයක් හෝ ශක්තියක් නොමැති යැයි සිතන තැනැත්තන් මෙම චර්යාවට බෙහෙවින් ම අනුගත වන බව ඇතැම් පර්යේෂණ මගින් හෙළිදරව් වී තිබේ. ඇතැම් විද්‍යාර්ථීන්ගේ ප්‍රකාශ කරන ආකාරයට දර්ශනකාමීත්වයට දැඩිසේ නැඹුරු වූවකු විවාහයට පත්වුවත් විවාහයෙන් පසුව ඔහුගේ ලිංගික දිවිය සකස්කර ගැනීමට පවා හැකිවන්නේ කලාතුරකිනි.

තවත් බිහිසුණු අනතුරක් ද දර්ශනකාමීන් ආශ්‍රිතව දැකගත හැකි බව වර්තමානයේ දැකගත හැකිය. ඒ දර්ශනකාමීන් සඳහා ම බිහිකරන වීඩියෝපට ය. (voyer Video) ජර්මනිය, ස්විට්සර්ලන්තය ආදී රටවල මෙම චිත්‍රපට සඳහා අධික ඉල්ලුමක් තිබේ. මේවා නිෂ්පාදනය කරන්නන්ගේ ජාලයක් ඇති අතර බෙදාහරින්නන්, නිෂ්පාදකයන් ද වෙති. ඩොලර් බිලියන ගණනින් මෙම ව්‍යාපාරය සඳහා යොදවා තිබෙන වග ද ප්‍රකාශිත ය.

දර්ශනකාමීන් බිහිවීමට නූතන සමාජයෙහි නම් තම තමන්ගේ සන්නිවේදන කටයුතු සඳහා භාවිත කරන ජංගම දුරකථන සහ පරිගණක යන්ත්‍ර ද අනුබල සපයන බව හෙළිදරව් වී තිබේ. ඇතැම් විටක මෙම දර්ශනවලට ලොල්වූවන් මෙබඳු චර්යාවකට අනුගත වීමකට ද යොමුවිය හැකි ය. අපේ දෙමවුපියන් මෙබඳු චර්යාවන් ගැන යම් තරමකට දැන සිටීම වැදගත් වන්නේ තමන්ගේම දරුවන් මෙබඳු චර්යාවන්ගෙන් වළකා ගැනීමට එය කිසියම් අනුබලයක් සපයනු හෙයිනි. දර්ශනකාමීත්වය පිළිබඳව මෙන්ම ඒ හා ආශ්‍රිතව සිදුවන සාහසික අපරාධ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ Ragmond N. C. තමන්ගේ Sexual disorder කෘතියෙහි දී පෙන්වා දෙන්නේ ලිංගික වැරදි අතුරෙන් වැඩිපුරම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා වරද මෙය බව ය.

පුද්ගලයකුගේ පෞරුෂත්වයට මෙන්ම ඔහුගේ සමාජ සබඳතා සහ අනන්‍යතාවට මෙන්ම ඔහුගේ පවුලට ද මෙම චර්යාව නිසා බරපතළ හානි සිදුවිය හැක්කේ ය. එසේ ම සැඟවගත් නොහඳුනන තැනැත්තකුගේ ගොදුරක් වන්නට ද ඇතැම් විට යුවතියකට කාන්තාවකට හෝ අඹුසැමි යුවළකට මෙම චර්යාව පාදක කොටගෙන සිදුව තිබේ.

ලාංකික සමාජයේත් කලකට ඉහත ‘ග්‍රීස් යකුන්’ ලෙසට එළිදැකියවුන්ගෙන් බහුතරයක් ම දර්ශනකාමීන්ගෙන් සමන්විත බව වටහා ගැනීම අසීරු නැත. ග්‍රාමීය නාගරික කලාපවල වෙනසකින් තොරව මෙම චර්යාවට යොමුවූවන් දැකගැනීමට හැකිව පවතී. එමෙන්ම මෙබඳු චර්යාවකට හසු වූ තැනැත්තකුට ශාරීරික පීඩාවන් හිංසාවන් සිදුකොට ඔහුව මේ චර්යාවෙන් ගලවා ගැනීම ද අසීරු ය. එලෙස වන්නට ද හේතුවක් තිබේ. මෙම චර්යාව voyeuristic disorder ලෙසට හඳුන්වා දී ඇති අතර එය පැරාෆිලියා ඛාණ්ඩයට අයත් මනෝ ව්‍යාධියක් බව ඇමරිකානු මනෝවිද්‍යා සංගමය (APA) මෙම ව්‍යාධිජනක තත්ත්වය DSM5 වර්ගීකරණය යටතේ ද ගොනුකර දක්වා ඇත.

ඩබ්ලිව්. ඒ. සරත්චන්‍ද්‍ර
හිටපු කථිකාචාර්ය සමාජ විද්‍යා සහ අපරාධ විද්‍යාව
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment