වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුයි යන ස්ථාවරයේ රජය තවමත් සිටින බවත් ඒ සම්බන්ධයෙන් රජය තවමත් මැදිහත්ව කටයුතු කරන බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේදී මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේලු කුමාර් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෙහිදී වේලු කුමාර් මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නය හා ඊට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ලබා දුන් පිළිතුර මෙසේය,
වේලු කුමාර් මහතා – මැයි 01 වැනිදා වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්ගේ වැටුප පිළිබඳව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ජනාධිපතිතුමා කොටගල රැස්වීමකට සහභාගි වෙලා රුපියල් 1700කින් පඩි වැඩි කරනවා කිව්වා. ඒ ගැසට් පත්‍රය මැයි මස 21 වැනිදා සංශෝධනය කර තවත් ගැසට් පත්‍රයක් නිකුත් කළා. පසුගිය ජුනි 10 වැනිදා සියලු ගැසට් පත්‍ර අවලංගු කරලා තවත් ගැසට් පත්‍රයක් නිකුත් කර තියෙනවා. මම අහන්නේ කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා? පසුගිය සතියේදී අපේ රට ඉරානයට තිබුණ ඩොලර් ණයවලින් 60% පමණ තේ අපනයනය කිරීමෙන් ගෙවා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. රටට ඩොලර් ගෙනෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාමත් පහළ මට්ටමකට වැටිලා. ගැසට් පත්‍රය අවලංගු කරලා රජයේ ස්ථාවරත්වය මොකක්ද?
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා – රජයේ ස්ථාවරය වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුයි කියන එක. ඒ නිසා තමයි රජය මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කළේ. හාම්පුතුන් අධිකරණයට ගිහිල්ලා නඩුවක් තිබෙන නිසා මට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න බෑ. රජයේ ස්ථාවරයේ වෙනසක් නෑ. අපි ඒ මතයේම ඉන්නවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන