සුරාබදු යෝජනාවට සමාගම තාමත් නිහඬයි
සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම විසින් පැහැරහැර තිබෙන රුපියල් බිලියන පහයි දශම අටක (5.8) බදු මුදලින් සියයට 50ක් ගෙවන්නේ නම් දැනට අත්හිටුවා ඇති නිෂ්පාදන බලපත්‍රය ලබාදීමේ වැඩපිළිවෙළක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් යෝජනා කර ඇත.
බදු ගෙවීම පැහැර හැරීම නිසා පසුගිය දෙසැම්බර් 04 වැනිදා සිට එම සමාගමට අයත් බලපත්‍ර 03ක් අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. මේ හේතුවෙන් එහි සේවය කළ 600ක පමණ සේවකයන් සහ ඔවුන්ගෙන් යැපෙන 1500ක පමණ පිරිසකගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීම සැලකිල්ලට ගෙන නව යෝජනාව ඉදිරිපත් කළ බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා ‘දිවයින’ට පැවසීය. එම යෝජනාව ඉදිරිපත් කර දින කිහිපයක් ගතවී ඇතත් එයට එකඟද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් දෙපාර්තමේන්තුව දැනුවත් කර නැතැයි ද ඔහු කීය.
හිඟ බදුවලින් සියයට 50ක් ගෙවන්නේ නම් නිෂ්පාදන බලපත්‍රය මාසයකට ලබාදීමටත් ඉතිරි හිඟ බදු සියයට 50 නිෂ්පාදනය කරන නිෂ්පාදනයේ ප්‍රමාණයට බදු හිඟ බදුවලින් කොටසක් සහ හිඟ බදු ගෙවා නිම කිරීමට ලබාදෙන කාලය තුළ ගෙවා නිමකරන බවටත් එකඟ වනවා නම් මාසයෙන් මාසයට බලපත්‍රය ලබාදීමේ හැකියාව ඇතැයි ඔවුන්ට දැනුම් දුන් බවද ඒ මහතා කීය.
සුරාබදු දෙපාර්තමේන්තුව යනු රජයට බදු ආදායම් ලබාදෙන දේශීය ආදායම්, රේගුව සහ තෙවැනියට පවතින දෙපාර්තමේන්තුව බවත් එම දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් ලබාදෙන බදු සීමා ඉටු කිරීමට වගකීමක් ඇති බවත් ඒ මහතා කීය. 2024 වර්ෂයට රුපියල් බිලියන 230ක පමණ බදු ඉලක්කයක් රජය ලබාදී තිබූ බවත් ඉන් රුපියල් බිලියන 220කට ආසන්න මුදලක් අය කරගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවත් ඉතිරි මුදල ද මේ වසර අවසන් වනවිට අය කරගැනීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත් ඒ මහතා කීය.
මෙන්ඩිස් සමාගමට මෙම යෝජනාව ලිඛිතව නොව වාචිකව පමණක් ලබාදී ඇත.
චමින්ද සිල්වා