තරුණ දකුණු කොරියානු සිනමාකරුවෙකු වන jeon kyu-hvan ටවුන් ත්‍රිත්වයේ වෘත්තාන්ත චිත්‍රපට තුනක් හදනවා. එහි තෙවැන්න ‘ඩාන්ස් ටවුන්’. බර්ලින් සිනමා උළෙල රැසකට නිර්දේශ වූ ඩාන්ස් ටවුන් තුළ දිවෙන්නේ උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට පලා එන්නට සැලසුම් කරන යුවළක් වටායි. පලාඑන සැලසුම අතරේ සැමියා අත්අඩංගුවට පත්වෙනවා. ඇය තහනම් මුහුදු මගකින් දකුණු කොරියාවට එනවා. දෙදෙනා දෙරටේ තනි වෙනවා. දකුණු කොරියාවේ සුවබර දිවිපෙවත ඇයට තරම් නොවන්නේ සිය සැමියා රුදුරු මව්බිමේ කුරිරු ඉරණමකට මුහුණ දෙන නිසයි. හිත කම්පා කරන ‘ඩාන්ස් ටවුන්’ බැලිය යුතුම චිත්‍රපටයක්.
උතුරු කොරියාව කියලා කියන්නේ ඒකාධිපති පාලනයේ පීඩාවද දැඩිව දරා සිටින රාජ්‍යයක්. දකුණු කොරියාව දිව්‍ය ලෝකය වගේ වෙද්දී උතුරු කොරියාව අපාය බවට පත්වෙන්නේ ඒකාධිපති පාලකයෙක් ගේ වියරු ක්‍රියා පිළිවෙත නිසයි.
සෑම ඒකාධිපති පාලකයෙක් තුළම මමත්වය වගේම උමතුවත් දරුණුවටම තිබෙනවා.
ගාමිණී වියන්ගොඩ ඒ පොත පරිවර්තනය කරපු “හැම මිනිහෙක්ම මැරෙන්නෙ තනියෙන්” කෘතිය කියවන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.
ජර්මනියේ හිට්ලර් ලෝකේ පුරා නාසිවාදය ප්‍රචාරය කළා. ඒකාධිපති හිට්ලර්ට වදින පුදන රටක් බිහිවෙලා තිබ්බා. ඇත්තටම හිට්ලර් පිස්සෙක් බව ලෝකෙම දැනගෙන හිටියා.
හැබැයි මේ පිස්සට විරුද්ධව නැගිටින්න එහේ මිනිස්සු බයෙන් හිටියා.
ඔය අතරේ එක වඩු කාර්මිකයෙක් එයාගෙ බිරිඳත් එක්ක මේ ඒකාධිපති හිට්ලර් පිස්සට එරෙහිව පාරට බැස්සා. ඒත්, හිට්ලර් ගැන උමතුවෙන් හිටපු මිනිස්සු මේ වඩු කාර්මිකයගේ සටන ගණන් ගත්තේ නෑ.
හිට්ලර් කියන්නේ පිස්සෙක් බව රටට කියන්න ඔහු පුදුම වෙහෙසක් ගත්තා. අන්තිමට මේ මනුස්සයා හිට්ලර් නමැති ඒකාධිපති පිස්සා ගැන පුංචි පුංචි පත්‍රිකා, ලියලා තැන් තැන්වල දාන්න පටන් ගත්තා.
“අම්මේ මේ පිස්සු නායකයා ඔබේ පුතාවත් මරයි. හැම ගෙයක්ම මළ ගෙයක් කරනතුරු ඔහු ඒක නතර කරන එකක් නැත.”
මිනිස්සු අරගලය පටන් ගන්නේ එහෙම. රට පාලනය කරන්නේ පිස්සෙක්නම් මිනිස්සුත් පිස්සො වෙනවා. පිස්සෝ වෙන්න අකැමැති මිනිස්සු පිස්සොන්ට එරෙහිව නැගිටිනවා.
වරක් සිම්බාබ්වේ ජනාධිපතිගෙන් මාධ්‍යවේදියෙක් මෙහෙම ඇසුවා.
ප්‍රශ්නය – ඔබ සිම්බාබ්වේ ජනතාවගෙන් සමුගන්න අදහසක් නැද්ද?
මුගාබේ – ඇයි ඔවුන් කොහෙද යන්නේ?
ප්‍රශ්නය – ජනපතිතුමනි ඔබට දැන් අසූනවයක්නේ. විශ්‍රාම සුවය ලැබීම හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
මුගාබේ – ඇයි ඔබ ඔය ප්‍රශ්නය එලිසබත් රැජිනගෙන් අහන්නේ නැත්තේ. අප්‍රිකානුවන්ගෙන් විතරද අහන්නේ?
එහෙව් මුගාබේ සිම්බාබ්වේ නැවත නැගිටිය නොහැකි අගාධයකට තල්ලුකොට දැමුවා. අද සිම්බාබ්වේ කියන්නේ බංකොලොත් රටක්. පාන් ගෙඩියක් ගන්න විල්බැරෝවක් පුරවා මුදල් ගෙන යා යුතු රටක්. වියපත් නායකයෙක් රටක් අරගෙන ගියේ එහෙම තැනකට.
ලෝකයේ සෑම ඒකාධිපති පාලනයක් ම කෙළවර වුණේ බරපතළ ඛේදවාචකයන් මැදින්.
මමත්වය සහ මම පමණක් යන හැඟීම තුළින් ගොඩනැගුණු රටක් ලෝකයේ කොතැනකවත් නැහැ. “මම” යන වචනය ආත්මාර්ථකාමී වචනයක් විදිහට තමයි බොහෝවිට සලකන්නට පුළුවන්කම තිබෙන්නේ. මමත්වය නිසා ම ආගම්වාදය ජාතිවාදය කල්ලිවාදය ත්‍රස්තවාදය ඇති වෙන්න පුළුවන්.
“ජාතිමමත්වය හා ආණ්ඩුව” මැයෙන් ලියෝ ටොල්ස්ටෝයි විසින් ලියන ලද නිබන්ධයක මෙසේ දැක්වෙනව.
“යුද හමුදාව, ධනය, පාඨශාලා, ආගම්, ගුරුවරු හා පුවත්පත් ආණ්ඩුව අතේය. ඉතිහාස පොත් ආදිය සම්පාදනය කර අහිංසක ළමයින්ට පාඨශාලාවන්හි දී ජාති මමත්වය උගන්වනු ලැබේ. ආණ්ඩුවේ මුලාදෑනින් විසින් ජාති මමත්වය පෙන්වන තරමට ඔවුන්ගේ තනතුරුද උසස් වේ. ජාති මමත්වය නිසා යුද්ධ ඇති වෙයි. ගත්කතුවරුන්, ගුරුවරුන්, සරසවි ඇදුරන් ජාති මමත්වය ගැන උද්ඝෝෂණය කරන තරමට ඔවුන්ගේ කටයුතු ස්ථිර වෙත්”
ලෝකයේ සෑම ධර්මයක් සහ ආගමක් මුලින්ම ඉස්මතු කරන හරය වන්නේ මමත්වය සහ මම යන හැඟීම වෙනුවට අපි යන හැඟීමෙන් කටයුතු කිරීමේ වටිනාකමයි. බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ පරාර්ථය උදෙසා යි. ක්‍රිස්තුස්වහන්සේ ලෝකයට ධර්මය දේශනා කළේ පරාර්ථය උදෙසා යි. නබි නායක තුමන් ලෝකයට කියා දුන්නේ පරාර්ථකාමිත්වය අගයයි.
සෑම ධර්මයකින් ම ලොවට උගන්වන්නෙ ඒ උතුම් ගුණ ධර්මය යි.
නමුත් ලෝකය පුරාම එදා මෙදා මෙදාතුර ඇතිවූ මහා ව්‍යසනවලට හේතු වී තිබෙන්නේත් මමත්වය සහ මම යන වියරු හැඟීමයි.
හිට්ලර් ලෝකය පුරාම ප්‍රකටයි. මුසලෝනි ලෝකය පුරාම ප්‍රකටයි. ඉඩි අමීන් ලෝකය පුරාම ප්‍රකටයි. පොල්පොට් ලෝකය පුරාම ප්‍රකටයි.
නමුත් ඔවුන් ප්‍රකට වී ඇත්තේ ලෝකයේ යහපත් කරන්නට දායක වූ පුද්ගලයන් ලෙස නොවේ. ලෝකයට ව්‍යසනය රැගෙන ආ පුද්ගලයන් ලෙසයි.
හිට්ලර්ගේ, මුසලෝනි ගේ, පොල්පොට්ගේ හෝ ඉඩි අමීන්ගේ පොතක් කියවා එය ඔබ අවසන් කරන්නේ සැනසිලිදායක සිතකින් නොවේ. ඒ කෘතිය අවසන් වන විට ඔබට දැනෙන්නේ මහා පිළිකුලක් සහ වේදනාවක්. එහෙත් ඔබ මහත්මා ගාන්ධිගේ කෘතියක් කියවා අවසන් කරන්නේ ඉතා පහන් හැඟීමකිනුයි.
පරාර්ථකාමීත්වය සහ මමත්වයේ වෙනස එයයි.