හීලෑ කිරීම ඇරඹේ

65

“සැබවින්ම සිදු වූයේ මිනිසා ශාක හීලෑ කිරීම නොව ශාක විසින් මිනිසා හීලෑ කිරීමයි”. මිනිසා ශාක ගෘහස්තකරණය කිරීම ගැන මෙහෙම කියන්නේ ඉතිහාසඥයෙක් වන හරාරි (Harari) ඔහුගේ සේපියන්ස් ( Sapiens): A brief history of humankind ) කියන කෘතියේ.

වනාන්තරයෙන් ද්‍රව්‍ය රැස් කරමින්, දඩයම් කරමින්, දඩයම් සොරා ගනිමින් සහ මසුන් අල්ලමින් තැනින් තැනට ගමන් කරමින් සංචාරක ජීවිතයක් ගත කරපු මානවයා එක් අවස්ථාවකදී එක් ස්ථානයක නවතින්නටත් ආහාර පසුපස ලුහු බැඳීම නවතා ආහාර තමා අවට වගා කරගන්නටත් තීරණය කරනවා. මෙන්න මේ අවස්ථාවට අප කියනවා මිනිසා කෘෂි කර්මය වෙත පා තැබීම කියලා. මේකට බල පෑ හේතු මොනවා දැයි නිශ්චිතවම කියන්න නොහැකි වුවත් සංචාරක ජීවිතයේ ලැබූ අත්දැකීම්, දේශගුණයේ වෙනස්කම්, කණ්ඩායම් අතර ආහාර හා ගොදුරු බිම් වෙනුවෙන් පැවැති තරඟය සහ ගැටුම්, තාක්ෂණයේ දියුණු වීම ඇතුළු හේතු රාශියක් මේ තීරණය වෙනුවෙන් බලපාන්නට ඇති. නමුත් අප මතක තබාගත යුතු කාරණයක් වන්නේ එක් හෝමෝ සේපියන්ස් කණ්ඩායමක් සඳ සහ අඟහරු මත ජීවය සොයමින් තිබෙන අවධියක අපේ වර්ගයේම මිනිසුන් කොට්ඨාසයක් තවමත් දඩයම් කරමින් මසුන් අල්ලමින්, වනජ ද්‍රවය රැස්කරමින්, වනාන්තර තුළ සහ ආශ්‍රිතව ජීවත්වන බවත්, අපි බිහි වූ අප්‍රිකානු බිම්වල මසායි (masai) ගෝත්‍රිකයන් තවමත් සිංහයන් දඩයම් කළ දඩයම් සොරා ගනිමින් ජීවත් වෙන බවත්ය.

මිනිසා කෘෂිකර්මයට යොමුවීමත් ස්ථිර ජනාවාස පිහිටුවා ගැනීමත් එකවිටම සිදුවන්නට ඇති බව පිළිගැනෙනවා. මේ ක්‍රියාවලිය ආරම්භ වී තිබෙන්නේ මීට වසර 10,000ත් 12,000ත් අතර කාලයේ දී. එය නව ශිලා යුගය (Neolithic Age) ලෙස පුරාවිද්‍යාඥයන් විසින් හඳුන්වනවා.

ලෝකයේ තැන තැන ගංගා නිම්න ආශ්‍රිත සශ්‍රීක බිම් වල මිනිසුන් තම වගාවන් ආරම්භ කොට තිබෙනවා.

වගාවන් සඳහා භූමිය තෝරා ගැනීම වගේම බිම් සකස් කර ගැනීම, අස්වැන්න නෙළීම, හා පරිභෝජනය වගේ සමස්ත ක්‍රියාවලියම ප්‍රශස්ත ලෙස සකස් කර ගන්නට ඔවුන්ට දීර්ඝ කාලයක් ගතවන්නට ඇති. ඒ වගේම සංචාරක ජීවිතයේ දීර්ඝ කාලීන නිරීක්ෂණ මේ සදහා බලපාන්නටත් ඇති. බොහෝ දෙනෙක් මේ ක්‍රියාවලිය ඉතා සුළු කොට සලකන බවක් පේනවා. එය ඕනවටත් වඩා මේ අවධිය සරලකරණය කිරීමක්. මේ අවස්ථාවේ දී තමයි මිනිසාට පෞද්ගලික දේපොළ සහ අයිතිය, පාලනය, බලය පිළිබඳ අදහස් කරළියට එන්නේ. අද දක්වාම අපි ගමන් කරන්නේ එදා පළමු පියවර තැබූ මාවතේමයි. මිනිසා ශාක හිලෑ කර ගැනීම (Plant domestication) ලෝකයේ තැනින් තැන විවිධ අවධි වල දී සිදුව තිබෙනවා. මිනිස්සු හීලෑ කරගෙන ඇත්තේ තමා අවට පරිසරයේ තිබුණු තමන්ට හුරු පුරුදු ආහාර විදිහට ගන්න පුළුවන් ශාක විශේෂ. උදාහරණයක් විදිහට මෙනේරි සහ සහල් වගාවේ ආරම්භයේ චීනයේ ගංගා නිම්න ආශ්‍රිතව සිදුව තිබෙනවා. 2007 වසරේ දී නැගෙනහිර චීනයෙන් සොයාගත් මේ බිම් වල ගං වතුර පාලනය, ගිනි පාලනය වැනි වගා ශිල්ප ක්‍රම වල සාක්ෂි ද පුරා විද්‍යාඥයන් විසින් අනාවරණය කොට ගෙන තිබෙනවා.

මිනිසාගේ හොඳම මිතුරා ලෙස අදටත් පිළිගන්නා බල්ලා (canis familiaris) මිනිසා විසින් හීලෑ කරගන්නා ලද පළමු සත්වයා ලෙස සැලකිය හැකියි. ඒ සත්ත්ව ගෘහස්තකරණයේ (Animal domestication) ආරම්භය යි. අළු වෘකයාගෙන් බල්ලා වෙන්කර ගැනීම හරිම අපූර්ව කතාවක්. මෑත කාලීන DNA අධ්‍යයන අනුව පැහැදිලි වෙන්නේ මීට වසර 23,000කට පමණ පෙර උතුරු සයිබීරීයාවේ දී පළමුවෙන් අළු වෘකයා ගෘහස්තකරණට ලක්වන්ට ඇති බවයි. ඊට පසුව ලෝකයේ තැන තැන බල්ලා ගෘහස්තකරණය කිරීම සිදුව තිබෙනවා. ලෙනේ ආරක්ෂකයා ලෙසත්, දඩයම් සහකරු ලෙසත්, ඒ විටම සුරතලා ලෙසත් බල්ලා මිනිසාට ප්‍රයෝජනවත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ බෙල්ලන් බැඳි පැලැස්සේ ප්‍රාග් ඓතිහාසික කැනීම් වලින් ශ්‍රී ලංකාවේ සුනඛ ගෘහස්තකරණයට අදාළ සාක්ෂි හමු වී තිබෙනවා. අද වනවිට බල්ලන් ප්‍රභේද (Breeds) 400කට වැඩි ප්‍රමාණයක් ලොව පුරා සිටිනවා. ඔබ සමග මේ මොහොතේ සිටින ඔබගේ බලු සුරතලාගේ පැරණි ඥාතියා අළු වෘකයා (Canis lupus) බව ඔබ සිහි තබා ගත යුතුයි. දැන් උගේ රැකවලා වන්නේ ද මිනිසායි.

ලෝකයේ කෘෂිකර්මයේ ආරම්භය ශිෂ්ටාචාර ඇති වීම අතර සම්බන්ධය ගැන සැලකූ විට සශ්‍රීක චන්ද්‍රවංකය (certile crescent) නැතහොත් ශිෂ්ටාචාරයේ තොටිල්ල (Cradle of civilization) අමතක කළ නොහැකියි. ගංගා පිටාර ගැලීමෙන් පෝෂණය වූ මේ ගංගා නිම්නයේ කෘෂිකර්මය හොඳින් සිදුව තිබෙන බවත් ඒ අනුව මානව චර්යාවේ සිදු වූ වෙනස්කම් සමග “ශිෂ්ටාචාරයේ උපත සිදුව තිබෙන බව ඉතිහාසකරුවන් පෙන්වා දෙනවා.”

ශ්‍රී ලංකාවේ ඉපැරණි කෘෂිකාර්මික බිම් පිළිබඳව ද මෙහිදී යමක් සඳහන් කිරීම වැදගත්. ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ මහ එළිය තැන්නේ (හෝර්ටන් තැන්න ) කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලින් ආචාර්ය ආර්. ප්‍රේමතිලක විසින් මේ දිවයිනේ ඉපැරණි කෘෂිකර්මය පිළිබඳ සාක්ෂි හඳුනාගෙන තිබෙනවා. ඒවා අදින් වසර 15500-11000 අතර කාලයකට අයත් බව කියවෙනවා. මේ බිම් වල වී, ඔිට්ස්, බාර්ලි වැනි දේ වගා කොට තිබෙන බව ද සනාථ කොට තිබෙනවා.’

බොහෝ තෙවන ලොව රටවල කෘෂිකර්මය, විශේෂයෙන්ම වාණිජ බෝග වගාවන් සඳහා කරන තිරස් භූමි ව්‍යාප්තිය නිසා වනාන්තර බිම් සීඝ්‍රයෙන් කෘෂි කාර්මික බිම් බවට පත්වෙමින් තිබෙනවා. නමුත් ඒවායේ ඵලදායිතාවය ඉතාම අවම මට්ටමකයි තිබෙන්නේ. කෙටි කාලයකින්ම ඒවා ආන්තික බිම් බවට පත් වෙනවා. මේවාට යොදන රසායනික ද්‍රව්‍ය, නාශක ද්‍රව්‍ය තවත් පරිසර අර්බුද රාශියක් ඇති කරනවා. දේශගුණික විපර්යාස වැනි දේශසීමා නොතකන මානව කාරක පාරිසරික තර්ජන මේ සියල්ලේම තීව්‍රතාව උත්සන්න කරමින් තිබෙනවා.

අද අප ශ්‍රී ලංකාවේ ද අත්දකිමින් සිටින්නේ මේ කතාවේම තවත් පරිච්ඡේදයක්. මේ සංකීර්ණ විසිරුණු අර්බුදවලට විසදුම් සෙවිය යුත්තේ ද විවිධත්වය සහ සංකීර්ණත්වය තුළින්මයි. අවශ්‍යයවන්නේ ගතානුගතිකත්වයෙන් මිදී නිර්මාණශීලී ඇසකින් අර්බුද විමසීමට හුරුවීමයි. පරිසර අර්බුද පිළිබද සාකච්ඡාවන් “පරිසර ත්‍රස්තවාදයක්” හෝ “අන්තගාමීත්වයක්” ලෙස ලේබල් ගැසීම වෙනුවට විකල්ප වෙනුවෙන් දිරි දිය යුතු වෙනවා. අනෙක් අතට සියලු දේ විවේචනය කිරීම පමණක් දායක වූවා කියන අර්ථයට සම නොවන බවත් සිහිතබා ගත යුතුය. තිරසර සහ යෝග්‍ය වන කෘෂිකර්මික ප්‍රවේශයක් නිර්මාණය සඳහා වන දැනුම සහ කුසලතා වර්ධනය කර ගැනීමයි කළ යුත්තේ. එය, අපි සියලු දෙනාටම වගකීම් පැවරුණු සාමූහික ව්‍යායාමයක්. මෙය උඩුගම් බලා පිහිනීමක් වුවත් විසඳුම් සහ විකල්ප හමුවීමේ මාවත ද එයම වනවා.

මංජුල කරුණාරත්න
භූගෝල විද්‍යා අධ්‍යනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය


advertistmentadvertistment