120 වැනි ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

43

ජය පැරදුමෙන් තොරව නිමවූ 120 වැනි ආදරවන්තයන්ගේ සටනේ සමාප්ති උත්සවයට එක්ව සිටි (වමේ සිට) මහින්ද විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්, සම්පත් දේශාන් රත්නායක මහතා, මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නලින් තරංග පරණගම මහතා, ප්‍රධාන ආරාධිත සහ 1981 වසරේ මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් නායක සහ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර මහතා, මහින්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා මහතා, රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති රුසිර මද්දුමහේවගේ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සන්නාම ප්‍රධානී සහ මාස්ටර් බ්‍රෑන්ඩ් හා උපාය මාර්ග ප්‍රධානී ආකිබ් රෙයාල් මහතා (දකුණේ සිට 5 වැන්නා), විශේෂ ආරාධිත සහ 1981 සහ 1982 වසරවල රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රසාද් අබේසුන්දර මහතා, රිච්මන්ඩ් විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් උදාර අලස් මහතා සහ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් චම්ලි කුලවර්ධන මහතා

ඩයලොග් ආසිආටා හි සාඩම්බර අනුග්‍රහයෙන් පැවැති, ක්‍රිකට් බලවතුන් දෙපළක් වන ගාල්ල මහින්ද විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය අතර 120 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ තියුණු තරගයක් අවසානයේ ඉකුත් සෙනසුරාදා, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. කණ්ඩායම් දෙකම මෙහිදී ජයග්‍රාහී නිමාවක් ලබාගැනීම පිණිස ප්‍රබල තරගයක යෙදුණි ද, අවසානයේ මේ ගෞරවනීය සටනේ ජයග්‍රාහකයා බවට පත්වූයේ කාලයයි.

ලකුණු 144කට කඩුලු 8ක් දැවී තරමක් අවදානම් සහගත බවකින් යුක්තව රිච්මන්ඩ් විද්‍යාලය තරගයේ තෙවැනි දිනයේ පිතිහරඹය ඇරැඹුව ද, රිච්මන්ඩ් පසු පෙළ පිතිකරුවෝ තරගයේ තීරණය තම පිළට අවාසියක් නොවීම පිණිස ප්‍රබල සටනක නිරත වූහ. ඒ අනුව අගනා ලෙස ඉනිම ගොඩනගමින් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 227ක් ලබා සිටියදී උපක්‍රමශීලී ලෙසින් ඉනිම අත්හිටුවීමට ඔවුහු සමත්වූහ. මෙලෙස ඉනිම ගොඩනැගීම පිණිස අගනා දායකත්වයක් ලබාදෙමින් මනා සංයමයකින් යුතු ඉනිමක් සහ මනා පහර තෝරා බේරාගැනීමේ දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ප්‍රතිවාදීන්ගේ අභියෝගය මැදින් ලකුණු 52ක් රැස්කිරීමට බෙවින් ජයවර්ධන සමත් වුණි.

ඒ සඳහා තීරණාත්මක සහයෝගයක් ලබාදුන් පුබුදු මිහිරංග, තෙවැනි දිනයේ මුල්භාගයේදී මහින්ද පන්දු යවන්නන්ගේ බලාපොරොත්තු බිඳලමින් අගනා ලකුණු 47ක් රැස් කළේය. එසේම නිකිල් ජයවර්ධන විසින් ඉනිම ආරම්භයේදී ලබාදුන් ලකුණු 45ක දායකත්වයද සමගින් රිච්මන්ඩ් විදුහලට පළමු ඉනිමේ ලකුණු 10ක තියුණු ඉදිරියක් හිමිකරගැනීමට හැකිවිය. මහින්ද විදුහල් පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරමින් තුන් ඉරියව් දක්ෂතා ප්‍රදර්ශනය කළ එම කණ්ඩායමේ නායක කවීන් රුක්ෂාන් ලකුණු 70ට කඩුලු 4ක් දවාගනිද්දී, සදෙව් නෙත්මිණ නිසි එල්ලයේ පන්දුව පතිත කරමින් ලකුණු 24ට කඩුලු 2ක් දවා ගත්තේය.

120 වැනි ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

කාලය තීරණාත්මක සාධයක් බවට පත්ව තිබියදී මහින්ද විද්‍යාලය සිය දෙවැනි ඉනිමට අවතීර්ණ වූ අතර, එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දුල්සිත් දර්ශන, තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ට අගනා ආස්වාදයක් ලබාදෙමින් ලකුණු 82ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ද එයට ඇතුළත් කරමිනි. සේනුක් දානගමුව ද වේගවත් ලකුණු 34ක් රැස්කළ අතර එම පිතිහරඹවල ප්‍රතිඵලය ලෙසින් පන්දුවාර 41ක දී කඩුලු 5ක් දැවී ලකුණු 147ක් රැස් කර තිබියදී මහින්ද විදුහල් දෙවැනි ඉනිම අත්හිටුවන ලදි.

මෙම පිතිහරඹයට එරෙහිව යළිත් සටන දියත් කළ රිච්මන්ඩ් පන්දු යවන්නන් අතරින් කැපී පෙනුණු තමිදු ප්‍රදීප්ත, ලකුණු 10කට කඩුලු 3ක් දවාගනිමින් කැපී පෙනුණි.

ඒ අනුව පිටියට අඳුර වැටෙමින් තිබියදී, පන්දු වාර 25ක් තුළ අදාළ ඉලක්කය සපුරාලීමේ අභියෝගයක් රිච්මන්ඩ් කණ්ඩායම වෙත හිමිවිය. රිච්මන්ඩ් දෙවැනි ඉනිමේ එක කඩුල්ලක් දැවී ලකුණු 23ක් ලබා සිටියදී දෙපිලේම නායකයන් සහ විනිසුරුන්ගේ ද එකඟත්වයෙන් තරගය අවසන් කිරීමට යෙදුණු අතර ඒ අනුව 120 වැනි ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොර අවසානයක් සනිටුහන් විය.


advertistmentadvertistment