18 වැනිදා සිට 24 වැනිදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මකයි – අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර

1

පරිසරය අපිරිසිදු නොකර වන්දනා කර ගන්න

වැව් පිරී ඇති බැවින් දියට බැසීමට පෙර සැලකිලිමත් වන්න

අනුරපුර වඳින්න පෞද්ගලික වාහනවලින් එන අයට ප්‍රථම වතාවට ඇප් එකක්

මහව සිට අනුරපුරට විශේෂ බස් සේවාවක්

පොසොන් පුන් පෝය නිමිති කොටගෙන මේ මස 18 වැනිදා සිට 24 වැනිදා දක්වා ජාතික පොසොන් සතියක් ක්‍රියාත්මකවන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පැවැසීය.

එම කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් සහ මස් කඩ වසා තැබීමට අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුව තීරණය කොට ඇති බවත් හෙතෙම කීවේය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය. මේ අතර මෙවරත් අනුරාධපුර පූජා නගරය මූලික කරගෙන අනුරාධපුර සති පිරිත් පිංකම් කමිටුව මගින් සංවිධානය කොට තිබෙන සති පිරිත් පිංකම පොසොන් සතිය තුළ රටටත්, ජනතාවටත් ආශීර්වාද පතා වාර්ෂිකව අනුරාධපුර මහමෙව්නා උයනේ ස්ථාපිත පිරිත් මණ්ඩපයේ දී සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා,

අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු අටමස්ථානයේ සියලු භාරකාර ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා මත එම සිද්ධස්ථානවල පැවැත්වෙන සියලු පිංකම් සංවිධානය කොට තිබෙනවා.

ඒ වගේම දිවයිනේ සිව් දෙසින් පොසොන් වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් ගෙන් අනුරාධපුර අටමස්ථානය සහ මිහින්තලේ පූජා භූමි ප්‍රදේශ ආශ්‍රිතව පරිසරයට සිදුවන අතිශය හානිය බරපතළයි. එම නිසා සැදැහැවතුන් සියලු දෙනා පරිසරය පිළිබඳ වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතු කාලයක්. සැදැහැවතුන් විසින් රැගෙන එන කිසිවක් පූජා භූමි ප්‍රදේශවල තැන තැන නොදමා ආපසු රැගෙන යන ලෙසට ඉල්ලා සිටිනවා. මේ වනවිටත් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ පූජා භූමි ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි සියලු වැව් ජලයෙන් පිරී පවතින බැවින් ඒවායෙන් දිය නෑමට යෑමේදී සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා යොදා සිටින ජීවිතාරක්ෂක කණ්ඩායම්වල උපදෙස් මත ඔවුන් විසින් නම් කොට ඇති ආරක්ෂිත ස්ථාන පමණක් දිය නෑමට භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා.

එමෙන්ම පොසොන් සතිය තුළ පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවලට පැමිණෙන බැතිමතුන් රැගෙන එන රියැදුරන්ට අපහසුවකින් තොරව අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ යන පූජා භූමිවලට ගමන් කළ හැකි මාර්ග සිතියමක් සහිත විශේෂ ඇප් එකක් හඳුන්වාදීමට පොලිස් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු පියවර ගෙන තිබෙනවා.

එම ඇප් එක ඩවුන්ලෝඩ් කර ගෙන පැමිණෙන ලෙසට රියැදුරු මහත්වරුන් ගෙන් ඉල්ලා සිටිනවා.මේ අතර අනුරාධපුර සිට මහව දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන නිසා මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර සහ මිහින්තලේ බලා පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment