2025 මැයි මස 25 වැනිදා ඉරිදා
විනිශ්චයකාරවරියකට අන්තර්ජාලය ඔස්සේ ලිංගික හිංසන සිදු කළ නීතිඥයකු හලාවත දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ නීතිඥතුමා මෙසෙන්ජර් අන්තර්ජාල වේදිකාව හරහා පෙර කී වල් කතා විනිසුරුවරියට යවා තිබේ. උන්නැහේගේ වයස මේ වනවිට 62 කි. හරියාකාරව කල්පනා කරනවිට අවුරුදු 62ක් යනු මැදිවියේ දෙවන අවස්ථාව වන අතර, ඊළඟ අවස්ථාවේ දී දෙව්ලොවට හෝ අපායට සෙට් වීමට පුළුවන. එහෙත් නූතන ලෝකයේ ආයු අපේක්‍ෂාව සලකා බලන කල අවුරුදු 62ත් වයසක් ද? කෙසේ වුවද නීතිඥයා මෙකී අසභ්‍ය පණිවුඩ විනිසුරුවරියට යවනවිට 60 වන වියේ පසු විය. ඒ කියන්නේ ඔහුගේ රාගය සහ ප්‍රේමය අවදි වී ඇත්තේ අවුරුදු 60 දීය. විනිසුරුවරිය ඒ අවස්ථාවේ ම මේ සිද්ධිය පොලිසියට පැමිණිලි නොකළේ මන්ද? සමහරවිට ජීවිතය හරිගස්වාගෙන අසභ්‍ය දේවල් අන්තර්ජාලය හරහා නොයවා සිටීම පිණිස ඔහ කටයුතු කරනු ඇතැයි ගරු විනිසුරුතුමිය සිතන්නට ඇති. එහෙත් මේ යෝධයා චරිතය පිරිසිදු කර ගන්නා විලාසය එතුමියට නොපෙන්වන්නටත් ඇති. මේ අනුව ඇය දැඩි තීරණයක් ගත්තා විය යුතුය. කොහොම නමුත් මේ වනවිට අපේ නීතිඥ ‘කොල්ලා’ කූඩුවේය.
ශිෂ්ටාචාරයේ ගමන් මාර්ගය තුළ දී මනුෂ්‍යයා විසින් සොයාගන්නා ලද හොඳම ක්‍රියාන්විතය අන්තර්ජාලය වේ. එමගින් ලෝකය ටෙනිස් බෝලයකටත් වඩා කුඩා විය. එක තැනකින් තව තැනකට තත්ත්පර දෙක තුනක් තුළ පණිවුඩ යැවීමට හැකි විය. ලෝකයේ තිබෙන සියලු හොඳ දේ එමගින් හුවමාරු කර ගැනීමට පුළුවන. එසේම ලෝකයේ තිබෙන පට්ට වනචර දේවල් එනම් බ්ලූ ෆිල්ම්, ගණිකාවන් පිළිබඳ තොරතුරු, ලිංගික සෙල්ලම් බඩු පිළිබඳ විස්තර මෙමගින් ක්‍ෂණිකව නැරඹීමට පුළුවන. මෙය එතැනින් නොනවතී. විස්කි පෙරන හැටි ද, බීර පෙරන හැටි ද, කසිප්පු පෙරන හැටි ද අන්තර්ජාලයේ තිබේ. එසේම බෝම්බ හදන හැටි ද, තුවක්කු මිලට ගන්නා විධි ද, බෝම්බ සාදන වෙඩි බෙහෙත් ඇතුළු රසායනික ද්‍රව්‍ය මිලට ගන්නා තැන් ද අන්තර්ජාලයේ තිබේ. ඊළඟට, අන්තර්ජාලය මගින් ඕනෑම කෙනකුට කැතම කැත අපහාස කළ හැකිය. කිසියම් නිරුවත් කාන්තාවකගේ ශරීරයකට වෙනත් කාන්තාවකගේ මුහුණක් බද්ධ කර අන්තර්ජාලය ඔස්සේ එම දෙවන කාන්තාවගේ සැමියාට යැවීම තත්ත්පර කිහිපයක වැඩකි. යම් හෙයකින් මේ සැමියා ගොනකු නම් ඒ පවුල ඉවරය. අන්තර්ජාලයේ ඇති ලොකුම වරද එය පාලනයෙන් තොර වීමය. Fire Wall කොපමණ දැමුවත් වල් දේවල් හෝ නීතිවිරෝධී දේවල් බැලීමට කැමැති එකාට Proxy යක් මාර්ගයෙන් එය බැලිය හැකිය. අන්තර්ජාලය තුළ ඩාර්ක් වෙබ් ලෙස හැඳින්වෙන වෙබ් අඩවි තිබේ. මේවායේ නැති මඟුලක් නැත. අනුන්ගේ ගිණුම්වලින් මුදල් ලැබීමේ සිට අනුන්ගේ දේපළ තමන්ගේ නමට ලියා ගැනීම දක්වා ඕනෑම දෙයක් ඩාර්ක් වෙබ්කාරයන්ට සිදු කිරීමට පුළුවන.
මෙයට අවුරුදු විස්සකට ඉස්සර පවුලක් කඩාකප්පල් කිරීමට අවශ්‍ය නම් කැලෑ පත්තරයක් ගසන ලදී. සමහරවිට දුරකථනය මගින් වනචර කෝල් එකක් දෙන ලදී. එහෙත්මත් නැත්නම් ජීවිතය කඩාකප්පල් කිරීමට අවශ්‍ය පවුල වාසය කරන ගේ ඉදිරිපිට පෝස්ටර් පාරකුත් යවන ලදී. එහෙත් අද ඒ තරම් මහන්සි විය යුතු නැත. ඕනෑම ලිංගික හිංසනයක් කිරීම සඳහා අන්තර්ජාලය යොදාගත හැකිය. සාමාන්‍යයෙන් මේ රටේ ජනයා උසාවියට ඉතාම බිය වෙති. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව උසාවියේ දී තහවුරුවේ. නඩුවක් අහන අතර නඩු විභාගය බැලීමට පැමිණ සිටින කෙනකුට නින්දක් ගියොත් ඔහු කෙලින්ම කූඩුවට දමනු ලැබේ. එසේම නඩුව අසන වේලාවේ දී කිසියම් කෙනකු වැරදීමකින් කැස්සොත් ඔහුත් කූඩුව ඇතුළේය. පසුගියදා වෙනත් කෙනකුට ඇපයක් දීම සඳහා උසාවියට පැමිණි තරුණයකුගේ දුරකථනය නාද වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලදී. හැබැයි රිමාන්ඩ් එකට ගිය තරුණයාගේ සිරුර ආපසු ආවේ මළ මිනියක් ලෙසිනි. එසේ තිබියදී මේ නීතිඥයා විනිශ්චයකාරවරියකට මේ ආකාරයෙන් ලිංගික හිංසා සිදු කිරීම ඉතාම භයානකය. එහෙත් අපගේ නීතිඥතුමා කිසිදු බයක් නැතිව සිය ලිංගික අරමුණු වෙනුවෙන් ජීවිතය කැප කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ කරන මෙවැනි අපරාධ ‘සයිබර් ක්‍රයිම්’ ලෙස හඳුන්වනු ලැබේ. මෙවැනි අපරාධයකට ලක්වන කෙනකුට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ‘සයිබර් ක්‍රයිම්’ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළ හැකිය.
මනුෂ්‍යයා ජීවිතයේ මැදිවිය ඉක්ම වනවිට වඩාත් තැන්පත් විය යුතුය. එවිට ඔහු සමාජයට ආදර්ශයක් බවට පත් වෙයි. එහෙත් අපේ නීතිඥතුමාට අවුරුදු 60 දී එය අමතක විය. මිනිසුන් අශිෂ්ට වැඩ කරනවිට ශිෂ්ටාචාරය කඩාකප්පල් වෙයි. දැන් මේ කතුවැකිය අවසන් කිරීමට කාලය පැමිණ තිබේ. ඊට පෙර කුඩා කතාවක් කියමු. 1948 ට පෙර එනම් ඉංග්‍රීසි ආණ්ඩුව පැවැති කාලයේ දී දුර ගමක විසූ මහලු මිනිසකු විසින් තරුණියක් දූෂණය කරන ලදී. මේ නඩුව විභාග කළ විනිශ්චයකාරයාට සිංහල බැරි අතර තෝල්කයකු විසින් එය පරිවර්තනය කරන ලදී. තෝල්කයෙක් කීවාට ඒකාට ද හරියට පරිවර්තන බැරිය. ස්ත්‍රී දූෂණ නඩුව විමසන ලද අවස්ථාවේ දී ඒ සඳහා සාක්‍ෂි දීම පිණිස ගැමි කාන්තාවක් කැඳවා තිබිණ. මේ දූෂණය සම්බන්ධයෙන් ඇයට කීමට ඇත්තේ කුමක් දැයි නඩුකාරයා විසින් ඉංග්‍රීසියෙන් විමසන ලදී. තෝල්කයා ඒ බව සිංහලයට පරිවර්තනය කර සාක්‍ෂිකාරියට කීවේය. සාක්‍ෂිකාරියගේ පිළිතුර වූයේ “නාකි විසේ ගෙටත් උසය” යන්නයි. නඩුකාරයාට එය තේරුනේ නැත. එය පරිවර්තනය කර දෙන ලෙස නඩුකාරයා තෝලකයාට කීවේය. එම උපමාව තේරුම් කිරීමට තරම් අවශ්‍ය ඉංග්‍රීසි වාග් මාලාවක් තෝල්කයාට තිබුණේ නැත. එබැවින් ඔහු “නාකි විසේ ගෙටත් උසය” යන්න ‘Ancient Sex is Higher Than Roof Top’යනුවෙන් පරිවර්තනය කර දුන්නේය.