අමරකීර්ති අතුකෝරල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට – සැකකරු බස් රථ රියැදුරෙක්

556

නිට්ටඹුව නගර මධ්‍යයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් නිට්ටඹුව නගරයේදී ඊයේ (20 වැනිදා) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු 29 හැවිරිදි වියේ පසුවන බස් රථ රියැදුරෙකි.

මෙම පහරදීමේ සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සහ විවිධ පුද්ගලයන්ගෙන් ලබාගත් ප්‍රකාශවලින් හෙළිවූ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

ඉකුත් 09 වැනිදා දහවල් අමරකීර්ති අතුකෝරළ මහතා අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමකින් පසු සිය නිවස බලා යමින් සිටියදී නිට්ටඹුව නගර මධ්‍යයේදී කලහකාරී පිරිසකගේ ප්‍රහාරයට ලක්විය.

එහිදී ඒ මහතාගේ ආරක්ෂක නිලධාරියා කලහකාරීන්ට වෙඩි තබා කැබ් රථයෙන් බැස ගොස් අසල තිබූ රෙදිපිළි අලෙවිසලක සැඟවී දිවි ගලවා ගැනීමට උත්සාහ කළේය. එහෙත් කලහකාරීන් මන්ත්‍රීවරයාට ඉතාම අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වාගෙන යයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment