ආණ්ඩුව අධිකරණ තීරණවලට කොළේ වහලා ගහනවා – පුබුදු ජයගොඩ

105

අධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය කළ ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතේ ඉලක්ක වෙනත් පාරකින් සපුරා ගැනීමේ කුමන්ත්‍රණයක ආණ්ඩුව නිරත වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (10 දා) නුගේගොඩ එම පක්ෂ කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු මෙසේද පැවසීය.

“ආණ්ඩුව ජනතාව මර්දනය කිරීම සඳහා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නම් නීතියක් ගෙනැවිත් එය ජනතා විරෝධය මැද තරමක් පසුපසට ගෙන තිබෙනවා. එය පසුගිය අප්‍රේල් 3 හෝ 4 පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතව තිබුණත් ජනතා විරෝධය නිසා කල් දැම්මා. දැන් විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා කියන්නේ එය මැයි මාසයේදී ගෙන එන අතර එයට එරෙහි කවුරුන් හෝ සිටීනම් අධිකරණයට යන ලෙසයි. මීට පෙර මේ ආණ්ඩුව පුනරුත්තාපන කාර්යාංශ පනත් කෙටුම්පත ගෙන එද්දී එය ඉතා මර්දනකාරී නීතියක් බව අපි කිව්වා. එය කියද්දීත් විජේදාස රාජපක්ෂ කිව්වේ එහෙනම් අධිකරණයට යන්න කියලා. අන්තිමට අධිකරණය මොකද කිව්වේ? ඒ පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා නිගමනය කළා. යන්න කියනවානම් මේ සැරෙත් අපි අධිකරණයට යන්නම්. නමුත් අධිකරණ ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නෑ. අපි මේ ත්‍රස්ත පනත පරාජය කරන්න නීතිමය ක්ෂේත්‍රයේ වගේම ප්‍රචාරක ක්ෂේත්‍රයේ, උද්ඝෝෂණ ක්ෂේත්‍රයේ, රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ වැඩ කරනවා.

අනෙක් අතට අධිකරණය දෙන තීරණ මේ ආණ්ඩුව පිළිපදිනවාද? ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත හරහා ලංකාවේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගැනීමේ ඒකාධිකාර බලය මූල්‍ය සමාගම්වල ඉත්තන් බවට පත් වීමේ ඉඩකඩක් ඇති නිලධාරීන් 11 දෙනකුට පවරනවා. එම පනත් කෙටුම්පතේ වගන්ති 134කින් 46ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒ ඇතැම් වගන්ති සම්මත වෙන්න පාර්ලිමේන්තුවේ 2/3ක විශේෂ බහුතරයක් අවශ්‍යයි, තවත් ඇතැම් වගන්ති සම්මත කරන්න ඒ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයේ සඳහන් වෙනවා. ඒ වෙලාවේ නීතිපති කිව්වා ඒ වගන්ති සංශෝධනය කරන්නම් කියලා. සංශෝධනය කරනවානම් පනත් කෙටුම්පත සරල බහුතරයෙන් සම්මත වීම ප්‍රමාණවත්. නමුත් කථානායකවරයා පාර්ලිමේන්තුවට කිව්වේ සංශෝධනවලින් පසු සරල බහුතරයෙන් මේ පනත සම්මත කරන්න පුළුවන් කියලා අධිකරණය කිව්වා කියලා. මේ විදියට අධිකරණයේ අර්ථ නිරූපණයක් විකෘති කර පාර්ලිමේන්තුවට වාර්තා කළ පළමු අවස්ථාව මෙය වෙන්න පුළුවන්. දැන් අපට ආරංචියි කුමන්ත්‍රණයක් සැලසුම් කෙරෙනවා කියලා. ඒ කුමන්ත්‍රණය තමයි අධිකරණය කියූ ලෙස වගන්ති සංශෝධනය කරලා, රෙගුලාසි පැනවීමේ සීමාවන් පුළුල් කරන නව වගන්තියක් කාරක සභා අවස්ථාවේ පනතට එකතු කරලා සම්මත කිරීම. ඊට පස්සේ වරින්වර කෙරෙන රෙගුලාසි ගැසට් කිරීම හරහා මහ බැංකුවේ දේශපාලන වගකීම සහ සමාජ වගකීම කප්පාදු කරන්න පුළුවන්. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ වගකීමෙන් දේශපාලන තන්ත්‍රයට ඇඟ බේරා ගන්න පුළුවන්. එක අධිකරණ තීන්දුවකට එරෙහිව මේ වර්ගයේ පහත පෙළේ කුමන්ත්‍රණ කරන ආණ්ඩුවක් තමයි අපට ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව උසාවි යන්න කියන්නේ.
ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment