දිවංගත රණසිංහ ප්‍රේමදාස දිවා රාත්‍රී නොබලා ජනතාවට සේවය කළා

2544

අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි හිමි
එතුමා පවුලට පෙර රට පෙරට තැබුවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් එතුමාගේ පාලන කාලය තුළ රටේ ඇතිව තිබුණ නොයෙකුත් තර්ජන ගර්ජනවලට ඉතාමත් නිර්භීතව මුහුණ දෙමින් අවස්ථානුකූලව තමන් වෙත පැවරුණු සියලුම වගකීම් සමුදාය ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ඉෂ්ට සිද්ධ කළ නිර්භීත ශාසන මාමක නායකයකු වශයෙන් සිහිපත් කළ යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන් වහන්සේ ඊයේ (01දා) පැවසූහ.

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වන ගුණානුස්මරණ අවස්ථාවට සහභාගිවෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

මහජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා කටයුතු කිරීමේ වගකීම නායකයෙකුට පැවරී ඇති වගකීම් සමුදාය හොඳ අවබෝධයෙන් යුතුව කටයුතු කළ නායකයෙකු බවද උන්වහන්සේ පැවසූ අතර නිවාස දශලක්‍ෂයක ව්‍යාපෘතීන් ඒ හා සමාන අනෙකුත් ව්‍යාපෘති වගේම ජනපති ජංගම සේවා කටයුතු, සෙවණ අරමුදල, ගම්උදාව, සංවර්ධනයට හා ජන ජීවිතයට අදාළ විවිධාකාර ක්‍ෂේත්‍රයන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණත්වයට පත්කිරීම, ජනජීවිතය සමබරව පවත්වා ගැනීමට අවශ්‍ය කරන ආකල්ප හා ක්‍රියාකාරී සමුදාය අර්ථවත් කළ ජන නායකයකු වශයෙන් එතුමාගේ සමස්ත පාලන සංසිද්ධිය අගය කරන්නට පුළුවන්කම තිබෙනවා.

ඒ වගේම ඒ කාලවකවානුව තුළ විවිධාකාර ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳවත් ඉතාමත් නිර්භීතව මුහුණ දෙමින් කටයුතු කිරීමේ හැකියාව තිබුණ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ ඒ සමස්ත ක්‍රියාවම ශ්‍රී ලංකා ඉතිහාසයේ අමරණීය වන බව සඳහන් කළ යුතු වෙනවා.

විශේෂයෙන්ම සෙංකඩගලපුර දළදා වහන්සේ මුල් කරගෙන එතුමා සිදුකළ සේවා කටයුතු වචනයෙන් විස්තර කළ නොහැකි බවත් නිවාස දශලක්‍ෂයේ ව්‍යාපෘති ආරම්භ කිරීමට ප්‍රථමයෙන් දළදා වහන්සේ උදෙසා රන්වියන සාදා පූජා කොට ධාතු මන්දිරය සම්පූර්ණත්වයට පත් කරන්නටත් එතුමා කටයුතු කළා සේම දළදා වහන්සේ උදෙසා තේවා කටයුතු සිදු කරන සිල්වත් පිරිස වෙනුවෙනුත් නිවාස ඉදිකොට ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කරන්නටත් නොපැකිලිව කටයුතු කළ බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

දිවංගත රණසිංහ ප්‍රේමදාස දිවා රාත්‍රී නොබලා ජනතාවට සේවය කළා

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

“දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළ තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමා පවුලට පෙර රට පෙරට තැබූ නායකයෙක්. කිසිම දවසක පවුලේ සාමාජිකයන් වන අපටවත්, හිටපු ගජ මිතුරන්ටවත් ප්‍රමුඛත්වයක් ලබාදුන්නේ නැහැ. රටේ සියලුම ජනතාවට, ජාති ආගම් කුල මල පක්ෂ භේදයකින් තොරව හැම කෙනෙකුටම එතුමා සැලකුවේ එකටයි. පැහැදිලිවම අපි අධිෂ්ඨාන කරගන්නට ඕනෙ රණසිංහ ප්‍රේමදාස සේවයෙන් ඔබ්බට හා ඉදිරියට එතුමා තබපු සංවර්ධන, වාර්තා තබපු ජනතා හිතෛෂී සුභසාධන සංවර්ධන ඉලක්ක අපි නිර්මාණය කළ යුතුයි. ඒ තමයි දයාබර පියාණන්ට ඉටුකරන්න පුළුවන් ඉහළම උපහාරය. ඒ උපහාරය අවංකව, පිරිසිදුව, ඉෂ්ට සිද්ධ කන්නට අපි ඇප කැප වෙමු. පූර්ණකාලීනව අපි සතු සියලු දේ පරිත්‍යාග කරමු. ඒ ඉලක්ක සම්පූර්ණ කරගෙන යන ඒ ඓතිහාසික ගමන මේ රටට හැරවුම් ලක්‍ෂයක් නිර්මාණය කරලා නොනවතින සංවර්ධනයත්, සංවර්ධනයෙන් පිරී ඉතිරී යන රටක්, සංවර්ධනයේ ප්‍රතිලාභ ජන සමාජයේ සියලු දෙනාටම භුක්ති විඳිය හැකි යුගයක්, නොනිදන සංවර්ධන රටක්, වැඩකරන රටක්, කඩිසර රටක්,

අලස කම්මැලි නොවන රටක්, සැමගේම පැවැත්මෙන් ගොඩ එන රටක්, එය අපි අත්වැල් බැඳගෙන නිර්මාණය කරමු.

“රණසිංහ ප්‍රේමදාස මහතාව සිහිපත් කරන මේ වෙලාවේ එතුමා වෙනුවෙන් පෙනී හිටපු, එතුමා නියෝජනය කරපු, එතුමාට ආදරය කරපු සුවහසක් අප රටේ ලක්ෂ 220 කට අධික ජනතාව අසහනයෙන්, පීඩනයෙන්, දරිද්‍රතාවයෙන්, ප්‍රශ්න

රැසකට ගොදුරුවී තිබෙන අවස්ථාවක්. රණසිංහ ප්‍රේමදාස මහත්මයාව සැබවින්ම, සත්‍යවාදීව, යථාර්ථවාදීව සැමරීම කළ යුත්තේ අප රටේ අසහනයට, පීඩනයට පත්වුණු ලක්ෂ 220ක් වන අපේම රටේ ජනතාවගේ දුක නිවලා, කනගාටුව වෙනුවට සතුට නිර්මාණය කරලා රට පවතින තත්ත්වය තුළ අලුත් අභියෝගවලට අලුත් විසඳුම් ලබාදෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම රණසිංහ ප්‍රේමදාස මහතාව සැබවින්ම අනුස්මරණය කිරීමයි අප විශ්වාස කරන්නේ.”

සමස්ත දේශයේම ආර්ථික ක්‍රියාවලිය අඩපණ වෙලා. රටේ ජනතාවගේ දුකට, කනගාටුවට, අසහනයට, පීඩනයට හේතුවී තිබෙනවා. මේ අවස්ථාව දුෂ්කර අවස්ථාවක්.
සුජාතා ජයරත්න, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයන්, හේමා ප්‍රේමදාස මහත්මිය, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පවුලේ ඥාතීන් සහ හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මන්ත්‍රීවරුද සහභාගි වූහ.
ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment