අගමැති චීනයට, ජනාධිපති ඇමරිකාවට අපේ සම්පත් දෙනවා

217

– පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ (සජබ)

වත්මන් අගමැති හිටපු ජනාධිපති රටේ සම්පත් චීනයට දෙද්දී වර්තමාන ජනාධිපති රටේ සම්පත් ඇමරිකාවට ලබා දෙනවා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ දින ප‍්‍රකාශයක් කළා ඔබේ යුතුකම ඉටුකරන්න මගේ යුතුකම මම ඉටු කරන්නම් කියලා. ඒ වගේම එම මැතිවරණයේදී 69 ලක්ෂයක් රටේ ජනතාව ඡුන්දය ලබා දුන්නේ දහසක් බලාපොරොත්තුවෙන්. ක‍්‍රමයේ වෙනසක් සිස්ටම් චේන්ජ් එකක් ඇති කරනවා කිව්වා. එක රටක් එක නීතියක් ගේනවා කිව්වා. ඥාති සංග‍්‍රහය ඉවත් කරනවා කිව්වා. ජනතාවට සෞභාග්‍යමත් රටක් ඇති කරනවා කිව්වා. එහෙම කියලා තමයි රජය බලයට පත්වුණේ.

මව්බිම සම්පත් නොවිකුණුවා විදේශ ආයෝජන රටට ගේනවා කිව්වා. එය කිව්වේ වත්මන් අගමැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යහපාලන රජය විකුණා දැමූ සම්පත් සියල්ල යළි රජයට පවරාගන්නවා කිව්වා. සම්පත් කිසිම දෙයක් විකුණන්නේ නැහැ කිව්වා. අද මොකක්ද වෙලා තියෙන්නේ පවුල් ගහක් ඇති කරලා රාජපක්ෂ වෛරසය රටේම පිළිලයක් බවට පත්වෙලා. 2020 සිට මේ දක්වා විදේශයෙන් පැමිණි වෛරසයක් නිසා රටේ ජනතාව පීඩාවට පත්වෙලා. එසේ තිබියදී මේ රජය බලයට පත්වෙලා ඥාති සංග‍්‍රහය තුළින් රාජපක්ෂ වෛරස නිසා දෙවැනි වරටත් ජනතාවට පීඩා විඳින්න සිදුවෙලා.

හිටපු ජනාධිපති වර්තමාන අගමැති මේ රටේ සම්පත් චීනයට විකුණලා ෂැංග‍්‍රිලා හෝටලයේ ඉඩම සින්නක්කරම චීනයට ලබා දුන්නා. ඒ වගේම වරාය නගරය විශාල කොටසක් චීනයට ලබා දුන්නා. ඒ සින්නක්කර ලබාදී තිබුණත් යහපාලන රජය ඉවත් කරලා බදු ක‍්‍රමයට හැදුවා. ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු වන වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වර්තමාන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ තරගෙට මේ රටේ දේපළ ඇමරිකාවට ලබාදෙමින් යනවා. එහි උච්චතම අවස්ථාවට එළඹිලා  පසුගිය දින අපි දැක්කා. මේ රටේ බලශක්තිය සම්පූර්ණයෙන්ම විදේශීයකරණය කරන්න වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙනවා.

කෙලවරපිටිය යුදගනවි බලාගාරය 40% ක කොටස් භාණ්ඩාගාරයට අයිති. 23.9% කොටස් සේවක අර්ථසාධක අරමුදලට අයිති. මෙම  බලාගාරය දැනට මෙගා වොට් 300 ක බලාගාරයක් විදුලි නිෂ්පාදනය කරන්නේ ඞීසල්වලින්. එය ඕනෑම අවස්ථාවක ස්වාභාවික වායු බවට පත් කරන්න පුළුවන්. එල්එන්ජී බවට පත් කරන්න පුළුවන් ආකාරයට තමයි සකස් කර තිබෙන්නේ. එම විදුලි බලාගාරයෙන් 40% කොටස් ඇමරිකාවේ නිව් පෝට‍්‍රට් එනර්ජි සමාගමකට ලබා දීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක්  නිකුත් කර තිබෙනවා. මෙම බලාගාරය එල් එන් ජී බලාගාරයක් බවට පත්කරන්න 2020-2-18 ටෙන්ඩර් කැඳවීමක් සිදුකරා ලෝකයේ පුරාම ටෙන්ඩර් කැඳවීමක් කරලා පුවත්පත්වල දැන්වීම් පළ කරලා ලංසු කැඳවීමක් සිදුකළා.

මාස හයකින් ටෙන්ඩර්ය අවසන් වෙන්න තිබුණා. 2021 අගෝස්තු මාසේ 18 වැනිදා එම ටෙන්ඩර් විවෘත කරන්න තිබුණේ අගෝස්තු 18. එම දැන්වීමේ තිබුණා ඉන් පසුව කිසිම ලංසු කරුවෙකුට ඉදිරිපත් වෙන්න බැහැ කියලා. එසේ තිබියදී හිටි ගමන් ඇමරිකන් පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමැති වෙන්නට පෙර ඇමරිකාව බලා පිටත් වුණා. ගිහිල්ලා ඔහු ඇමරිකාවේ නිව් පෝට‍්‍රට් සමාගමත් සමග යම්කිසි ගිවිසුමකට එළැඹිලා ලංකාවට ඇවිල්ලා නීතිය වෙනස් කරමින් ව්‍යවස්ථාව වෙනස් කරමින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න බලය හදා ගත්තා. ඇමරිකන් පුරවැසියන් මේ රටේ මුදල් ඇමැති බවට පත්වෙලා. දැන් තමන්ගේ රටට සම්පතක් වන යුදගනවි බලාගාරයේ 40% ක කොටස් දෙන්න වැඩපිළිවෙළක් සකස් කරමින් ගිවිසුම් අත්සන් කරලා.

එය කාටත් හොරෙන් සාමාන්‍යයෙන් අපේ රටේ කැබිනට් මණ්ඩලයට පත‍්‍රිකාවක් ඉදිරිපත් කරද්දී දින කිහිපයකට ප‍්‍රථම සියලූම ඇමැතිවරුන්ට එම කැබිනට් පත‍්‍රිකා සියල්ල ලබා දෙනවා. එය සම්ප‍්‍රදායක්. කැබිනට් ඇමැතිවරු ඒවා සාකච්ඡුා කරල ඉන් පසුව තමයි කැබිනට් මණ්ඩලයට ගේන්නේ. නමුත් මෙම කැබිනට් පත‍්‍රිකාව දින තුන හතරකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ නැහැ. එසේ නොකර 2021 9 සැප්තැම්බර් මාසෙ 6 වැනිදා කැබිනට් මණ්ඩලයට අතිරේක කැබිනට් පත‍්‍රිකාවක් විදිහට ඉදිරිපත් කරනවා. එසේ ඉදිරිපත් කරාම ඇමැතිවරු ප‍්‍රමාණයක් විරුද්ධ වෙලා තිබෙනවා. එහෙම විරුද්ධ වී තිබෙන අවස්ථාවක හදිසියේම අනුමත කරගෙන තිබෙනවා. එය මක්නිසාද 40% ක කොටස් ඔහුගේ මව්බිම වන ඇමරිකාවට ලබාදීම සඳහා එම පත‍්‍රිකාවේ තිබෙනවා එක් තැනක මිලදී ගැනීම් ගිවිසුම විධිවිධාන සමග සංශෝධිත ගිවිසුමක් සක‍්‍රිය කිරීම දී මෙම කොටස් විකිණීම හා මිලදී ගැනීමේ ගිවිසුම අයැදුම් කිරීමෙන් පසුව අනුමත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ගිවිසුම අත්සන් කෙරුවට පස්සේ තමා ඇමැති මණ්ඩලය අනුමැතියට ඉදිරිපත් කරන්නේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment