අඩු නැතිව වඩු වැඩ කරන සුමුදු දෑතක හිමිකාරී

3364

වහපු ලීබඩු කඩේ දැන් මං අරින්නයි යන්නේ

පුංචි කාලේ ලීයක් ගැන කිසිම අවබෝධයක් තිබ්බේ නැති මම දැන් හැම ලීයක්ම වගේ හරියට අඳුරනවා

ඉල්ලුම කොයිතරම්ද කියනව නම් ඒ තරම් සැපයුමක් දෙන්න අමාරුයි…

අප්පච්චි එයාගේ සියලු වැඩ නතර කරලා දැන් මා එක්ක ලී බඩු හදනවා…

සුමුදු දෑතින් රළු ලීයක් ඔපමට්ටම් වන හැටි ලෝකෙටම පෙන්වා දුන්නේ දැනට වයස අවුරුදු විසි අටක් වන සුභාෂිණී කුලරත්නය.

ලී වැඩ පිළිබඳව කිසිදු මූලික දැනුමක් නැති ඇය ලී වැඩ ගැන උනන්දුව දක්වා තිබුණේ කොවිඩ් ව්‍යාප්ත වූ කොරෝනා සමයේදීය..

“ඒ දවස්වල අපි ගෙදර ඉන්නකොට කරන්න මොකුත් වැඩක් තිබුණේ නැහැ. අප්පච්චිට තිබුණේ ලී මඩුවක් එක්ක ලී බඩු වෙළඳසැලක්. නමුත් එතන හැදුවේ උළුවහු, ජනෙල් දොරවල් වගේ දේවල්. එතන මාමලා දෙන්නෙක් වැඩ කළා. මම පුංචි කාලේ ඉඳන්ම ඒ මාමලා දෙන්නා ලී වැඩ කරන විදිහ බලාගෙන ඉඳලා තියෙනවා. දොර ජනේල හදන ක්‍රමය දැක්කේ මහා විපර්යාසයක් විදිහට. ඒ සිතිවිලි මගේ හිතේ පැලපදියම් වෙලා තියෙන්න ඇති. ඒක ආපහු මතු වුණේ ඔය කොවිඩ් කාලේ තමයි.

එතකොට ඉතින් ආශ්‍රයක් තිබුණේ නැති හින්දා වැඩිපුරම හිටියේ ෆෝන් එකේනේ. මම online search කරලා බැලුවා ලී වැඩ කරන තරුණ පිරිස් ගැන. ඒ අතරේ ගැහැනු ළමයිනුත් හිටියා. මං හිතුවා මටත් පුළුවන් ඒ වැඩේ කරන්න කියලා එතන තමයි මේ ලී වැඩවල ආරම්භය පටන් ගත්තේ…”

2023 වසරේදී අන්තර්ජාලය ඔස්සේ ලී වැඩ පිළිබඳ ව මූලික දැනුමක් ලබාගත් සුභාෂිනි රාක්ක, පුටු, බංකු, මල් රාක්ක වැනි දෑ නිර්මාණය කිරීම ආරම්භ කර තිබුණේ යහළුවන් සහ හිතවතුන් වෙත ඒවා පරිත්‍යාග කිරීමේ අදහසින් පමණි.

අඩු නැතිව වඩු වැඩ කරන සුමුදු දෑතක හිමිකාරී

“පුංචි පුංචි බඩු ලීවලින් හදලා මම යාළුවන්ට තෑගි කළා. හිතවත් අයට දුන්නා. ඒ අය හැමෝම ඒවා හුඟක් අගය කළා. මේ අතරේ මම කරන නිර්මාණවල හරි වැරදි හැදුවේ අප්පච්චි. සමහර නිර්මාණවලින් ලී වැඩ කළ යුතු විදිහ ලීය මට්ටම් කරන්න ඕනෙ ප්‍රමාණය වගේ සවි ශක්තිමත්භාවය මේ හැම දෙයක්ම අප්පච්චි මට එකින් එක කියලා දුන්නා. ඒ නිසා මට අලුත් නිර්මාණ ගොඩක් කරන්න පුළුවන් වුණා.

ඒ අතරෙ මම FB Page එකේ මම හදපු දේවල් පෝස්ට් කළා. හිතන්නෙවත් නැති විදිහට ඒවට ලොකු ඉල්ලුමක් හැදුනා. මම හදපු තුනපහ රැක් එක දෙන්න බැරි තරමටම ඉල්ලුමක් ආව නිර්මාණයක්. ඒක හදන විදිහ වීඩියෝ කරලා ටික් ටොක් පෝස්ට් එකක් share කළා. ඒ පෝස්ට් එක හිතන්නෙ නැති විදිහට වෛරල් උනා.. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය එතන කියලත් මට කියන්න පුළුවන්…”

මවත් පියත් නැගණියත් සහෝදරයත් සමග දැනට තලාතුඔය පදිංචිව සිටින සුභාෂිණී කුඩා කල පදිංචිව සිට ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ ය. පිළිමතලාව ධීරානන්ද විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ සමත් වුණු ඇය ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා ඇත්තේ හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයෙනි. කෘෂිකර්ම විෂයන් සඳහා දැඩි ඇල්මක් දැක්වූ සුභාෂිනි පාසල් සමයේ සංගීත විෂයත්, විෂය සමගාමී කථික තරග විවාද තරග ඇතුළු කථිකත්වයට සහ සෞන්දර්ය විෂයන්ට උපන් හපන්කම් දක්වමින් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන සිටින සිසුවියක වී සිට ඇත.

අඩු නැතිව වඩු වැඩ කරන සුමුදු දෑතක හිමිකාරී

“උසස් පෙළින් පසුවත් මම කෘෂිකර්මය විෂය අත්හැරියේ නැහැ. අනුරාධපුර සහ කුණ්ඩසාලේ කෘෂිකර්ම අධ්‍යයන ආයතනවලින් කෘෂිකර්මය හා ආහාර තාක්ෂණය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවන් හදාරා නිම කළා. මේ වන විට වයඹ මාකදුර කෘෂිකර්ම විද්‍යාලයේදී කෘෂිකර්මය සහ වගාව පිළිබඳ උපාධිය හදාරනවා. මගේ විශ්වාසයක් තියෙනවා අපි මොන දේ කළත් හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියා. ඒ නිසා මම දිගටම ඉගෙනගන්න වැඩ කරගෙන යනවා. ඉගෙන ගෙනිල්ලයි ලී වැඩ කෙරිල්ලයි දෙකම සමබරව කරගෙන යන්න මට අම්මයි අප්පච්චි ගොඩාක් උදව් කරනවා.”

සුභාෂිණී උගත්කමින් සහ හැකියාවෙන් ඉදිරියට යන තරුණියකි. ලීයක් පදං කරන තැන සිට විදුලි යන්ත්‍රෝපකරණ මගින් ලී වැඩ සිදු කරන තැනට යන තෙක් ක්‍රමිකව ලී වැඩ නිර්මාණ හිමි හෙමින් ඉගෙන ගත් ඇය සිය පියාගේ වසා දැමූ ලී වැඩපළ නැවත ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන්නීය.

“අපි මුලින් පදිංචිව හිටිය පිළිමතලාවේ, දවුලගල පාරේ පමුණුව ප්‍රාථමික විද්‍යාලය ළඟ තමයි අප්පච්චිගේ ලී වැඩපළයි වෙළඳසලයි තිබුණේ. අපි තලාතුඔය පදිංචියට යද්දි අප්පච්චි ඒ හැමදේම වහන්න තීරණය කළා. ඒ දවස්වල නම් මම ඒකට නිහඬව හිටියා. නමුත් දැන් මගේ නිර්මාණවලට තියෙන ඉල්ලුම අසීමිත විදිහට වැඩිවෙලා තියෙනවා. කෙටියෙන්ම කියනව නම්, අප්පච්චි අප්පච්චිගෙ වැඩ සියල්ල නතර කරලා මගේ වැඩ කරන්න පටන් අරන්. මොකද මේ වසර එකහමාරක කාලය තුළ දවසෙන් දවස මම කරන හැම නිර්මාණයක්ම ඉල්ලුම් කරන පිරිසක් වැඩිවෙලා තියෙනවා. දැන් මම වැඩ කරන්නේ මැෂින්වලින්. ඒ හැම දෙයක්ම හරි විදිහට හරි දැක්මක් ඇතුව ඉදිරියට ගෙන යන්නේ මගේ අප්පච්චි. අප්පච්චි මට නිතරම හරි වැරදි කියල දෙනවා විශ්වවිද්‍යාලයකට යන ගමන් වැඩ කරන නිසා කාලයත් ශ්‍රමයත් කළමනාකරණය කර ගැනීම ඉතා හොඳින් කල්පනා කර කළ යුතු වෙනවා. මම දැන් සැලසුම් කරලා තියෙන්නේ අප්පච්චිගෙ පමුණුවේ ඉස්කෝලෙ ළඟ වෙළෙඳසල මගේ නිර්මාණවලින් ආරම්භ කරන්න. වැඩි දවසක් යන්න කලින් මම ඒ වැඩේ කරනවා…”

අඩු නැතිව වඩු වැඩ කරන සුමුදු දෑතක හිමිකාරී

සුභාෂිනීගේ ව්‍යාපාරය දැන් “භාෂි හෝම් ඩෙකරේෂන්” නමින් ප්‍රචලිතය. හුරුබුහුටි ලී කැටයම්, නව නිර්මාණ, මල් පෝච්චි ඇසුරුම්, බිත්ති සැරසිලි, හැඩකාර ලී පුටු මේස මේ සියල්ලක්ම ඇගේ නිර්මාණ එකතුවේ සුවිශේෂී අංගය. ඇයගේ නිර්මාණ පිළිබඳව දැඩි විශ්වාසය තබමින් රුපියල් ලක්ෂ හතරකට අධික යාන්ත්‍රික යන්ත්‍රෝපකරණ සුභාෂිණීට ලබා දෙන්න ආයතන කිහිපයක්ම මේ වන විට අනුග්‍රාහකත්වය දක්වා තිබේ. කාලය සහ වැඩ කළමනාකරණය කර ගනිමින් දිනපතා නව නිර්මාණයක් එකතු කරන්නට ඇය කය මෙන් මනස වෙහෙසන්නට ද අමතක කරන්නේ නැත. එබැවින් අසීමිත පාරිභෝගික ජනතාවක් ඇය හා සමීපව සිටින්නීය.

“ඇත්තෙන්ම දැන් ඉල්ලුමේ තරමට සැපයුම ලබා දෙන්න බැරි තරම් පිරිසක් මා සමග එකතුවෙලා ඉන්නවා. නමුත් මම මේ වනතුරු එකක්වත් මග නොහැර ලබා දෙන්න කටයුතු කළා. රුපියල් 1500යේ සිට ඉහළට හැන්දේ ගෑරුප්පුවේ පටන් අල්මාරි, මේස පුටු දක්වා ලී භාණ්ඩ, මම නිර්මාණය කරනවා. දැන් මට ඕනෙම ලීයක් හඳුනගන්න පුළුවන් ඒ ලීයෙන් කළ යුතු නිර්මාණ නොකළ යුතු නිර්මාණ මේ හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන්. පුංචි කාලයක් තුළ ඒ තරම් දුරකට යන්න පුළුවන් වුණේ කැපවීම නිසා කියලා මම දන්නවා. අත්දැකීමෙන් දන්න ඒ දේවල් තරුණ පරපුරටත් තමන්ගේ ළඟ තියෙන මොනයම් හෝ හැකියාවක් ඔපමට්ටම් කරමින් දියුණුව කරා යන්න පුළුවන් බව මම විශ්වාස කරනවා. ඒ නිසා හැමදෙනාම තමන්ගෙම කියලා මොකක් හරි නිර්මාණයක් ව්‍යාපාරයක් බවට පත් කරගෙන දියුණු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එතනදි දැනෙන සතුට තමන්ට පමණක් නෙවෙයි තමන් හැදූ වැඩූ දෙමව්පියන්ටත් දැඩිව දැනෙනවා. ඒ ආශිර්වාදය අපිව තව තවත් දියුණුව කරා ගෙන යනවා…” සුභාෂිණී නිරහංකාරව එසේ කියමින් කතාව නිම කළාය.

සමන්ති වීරසේකර


advertistmentadvertistment