අතපත්තු ඇතුළු ජයග‍්‍රාහී කාන්තා කණ්ඩායම පැමිණෙති

280

එංගලන්තයේ බර්මිංහැම් නුවරදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ ක‍්‍රිකට් තරග සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ජයග‍්‍රහණය අත් කර ගත් චමරි අතපත්තු ඇතුළු ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම පෙරේදා (26 වෙනිදා) රාත‍්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

මෙම සුදුසුකම් ලැබීමේ ක‍්‍රිකට් තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැත්විණි.

මෙම ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම පෙරේදා රාත‍්‍රී 10.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩිකාවන් 18 දෙනකු සහ නිලධාරීන් 10 දෙනකු ඇතුළත් වී සිටියහ.

ඔවුන් පිළිගැනීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

එහිදී අදහස් දැක්වූ චමරි අතපත්තු මෙසේ පැවසුවාය. අපි ගොඩක් හොඳ තරගාවලියකට මුහුණ දීලා මේ ජයග‍්‍රහණය අත් කර ගත්තා. මෙම තරගාවලිය තුළදී අපගේ ක‍්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා පිළිබඳව සතුටට පත් වෙනවා. අපි වසර දෙකකට පසුව, මෙසේ ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වුණේ.

අපිට සිම්බාබ්වේ පැවති පසුගිය ලෝක කුසලාන තරගාවලිය තුළ කොරෝනා නිසා හරියට ක‍්‍රීඩා කිරීමට හැකි වුණේ නැහැ. ලෝක කුසලාන තරගාවලිය අපට අහිමි වුණේ හරිම අවාසනාවන්ත විදියට. එහෙත් මෙම තරගාවලිය තුළදී ඉතා හොඳින් ක‍්‍රීඩා කළා.

ඒ සඳහා අපට හොඳ දක්ෂ නවක ක‍්‍රීඩිකාවන් පිරිසක් සිටිනවා. ඒ වගේම අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවන් පිරිසක් ද සිටිනවා. ඒ නිසා අපට හරිම සමබර කණ්ඩායමක් සිටිනවා

අප එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී ක‍්‍රිකට් තරගාවලිය සහ ඊට පසුව පකිස්තානයේ පැවැත්වීමට නියමිත ක‍්‍රිකට් තරගාවලිය පිළිබඳව අවධානය මේ වනවිට යොමු කරමින් සිටිනවා යැයි ද චමරි අතපත්තු වැඩිදුරටත් පැවසුවාය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment