එන්ජින් රියැදුරු වර්ජනය
වර්ජනය දිගටම-අදත් විසඳුමක් නැතිනම් දැඩි ක්‍රියාමාර්ග
ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය
දුම්රිය වර්ජනය සීඅයිඩී යයි?

දුම්රිය එන්ජින් රියැදුරන් ඊයේ (09දා) තුන්වැනි දිනටත් වැඩ වර්ජනයේ නිරත වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 100කට අධික සංඛ්‍යාවක් අත්හිටුවීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා ‘දිවයින’ට පැවසීය.

මේ හේතුවෙන් දුම්රිය මගීන් විශාල පිරිසක් ඊයේත් අපහසුතාවට පත්වූ බවද හෙතෙම කීය. වහාම සේවයට වාර්තා කරන ලෙස දන්වා වර්ජනයේ නිරත දුම්රිය රියැදුරන්ට ලිපි යවා ඇති බවත්, ඔවුන් අද (10දා) සේවයට වාර්තා නොකළහොත් සේවය අත්හැර ගියා සේ සැලකීමට සිදුවන බවත් ඒ මහතා කීය.

ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, ඒවා ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙලෙස වැඩවර්ජනයේ යෙදෙමින් මගීන් අපහසුතාවට පත්කිරීම අසාධාරණ බවත් ඉඳිපොලගේ මහතා කියා සිටියේය.

මේ අතර, දුම්රිය වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩවම සිදුකරගෙන යන බවත්, අද දිනයේත් සිය ගැටලුවලට විසඳුමක් ලබාදීමට ප්‍රවාහන බලධාරීන් ප්‍රතිචාර නොදක්වන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බවත් ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක මහතා දිවයිනට පැවසීය.

දෙවන පෙළ උසස්වීම් ලබාදීම ප්‍රමාද වීම, නව බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුහු එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 6දා සිට ආරම්භ කළහ.

මේ හේතුවෙන් ඉකුත් දින 3 තුළ රැකියාවට යන පිරිස්, පාසල් දරුවන් අතුළු විශාල පිරිසක් දැඩි අපහසුතාවට මුහුණපෑහ. දිවයිනේ ඇතැම් දුම්රිය ස්ථාන ඊයේ පාළු ස්වභාවයක් ඉසිලීය.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර 2ක රියැදුරන් 84 දෙනකු මෙම වර්ජනයට එක්වී සිටින බවත් සිය ගැටලුවලට අද හෝ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉතිරි ධාවනාගාර 3නෙහි රියැදුරන් 74 දෙනාවත් සම්බන්ධ කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරගෙන යන බවත් ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම්වරයා පැවසීය.

තවදුරටත් කතා කළ සේනානායක මහතා මෙසේද කියා සිටියේය.

“රාජ්‍ය සේවයේ සිටින ඕනෑම කෙනකුට වැටුප් කේතයක් තියෙනවා. නමුත් 2014 ඉඳන් අපිට වැටුප් කේතයක් නැහැ. ධාවනාගාර 5ක දුම්රිය රියැදුරන්ට වැටුප් කේතයක් ලබාදීලා නැහැ. බඳවා ගත් ශ්‍රේණිය ඇතුළේ කේතයට අනුව තමයි විශ්‍රම යෑම තීරණය කෙරෙන්නේ. දුම්රිය රියැදුරන් බඳවා ගැනීමේ පටිපාටියක් නැහැ. මේ ඔක්කොම කල් යනවා. බලධාරීන් ඒක තීරණය කරගන්න බැරිව දඟලනවා. හරිනම් මේ වෙද්දි දුම්රිය එන්ජින් රියැදුරන් 458ක් ගන්න ඕනෑ. 2017න් පස්සේ මේ බලධාරීන් දුම්රිය රියැදුරන් අරගෙන නැහැ. හරිනම් වසරකට දුම්රිය රියැදුරන් 20 ගාණෙවත් ගන්න ඕන. ඒ අයට අවුරුදු තුනක පුහුණුවක් ලබාදෙන්න ඕන.

මේ ගැටලු විසඳන්නේ නැතුව චෝදනා අපේ පිට දාන්න එපා. වැටුප් කේතයට අදාළ ලියුම් 84 අපිට ගහන්නත් ඕනෑ. මේ ගැටලු විසඳන්නේ නැතුව අපෙන් පළිගන්නවා. අපේ ගැටලුවලට විසඳුම් දෙන්න. දුම්රිය මගීන් වුණත් අපි ගැන ටිකක් හිතන්න. මේක අපේ වරදක් නෙවෙයි. ප්‍රවාහන බලධාරීන් මේ ගැටලුවලට වගකියන්න ඕනේ. ප්‍රවාහන බලධාරීන් අද දවල් 12.00ට සාකච්ඡාවක් දෙනවා කියලා තියෙනවා.

මේ අතර අද දිනයේ බොහෝ පාසල්වල වාර විභාග පැවැත්වෙන බැවින් සිසුන්ට සහ රැකියා යන පිරිස් ද සඳහා උපරිමයෙන් ලංගම බස් රථ යොදවනවා ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද සිල්වා මහතාගෙන් විමසූ විට කියා සිටියේ, මගී ජනතාවගේ අවශ්‍යතාවය පරිදි උපරිමයෙන් ලංගම බස් රථ ධාවනයට යොදවන බවයි.

දිවයින පුරා ඇති ලංගම ඩිපෝ කාර්යාල 107ම ඩිපෝ කළමනාකරුවන්ට බස් රථ උපරිමයෙන් යොදවා මගීන්ගේ ගමන් පහසුව සලසා දෙන ලෙසට දැනුම් දුන් බවද හෙතෙම කීය.

ඒ අනුව මුහුදුබඩ මාර්ගය, පුත්තලම් මාර්ගය, පොල්ගහවෙල මාර්ගය, කැලණිවැලි මාර්ගය, හලාවත මාර්ගය යන ප්‍රදේශවලට බස් රථ අවශ්‍යතාවය පරිදි උපරිමයෙන් ලංගම බස් රථ යොදවන බවද හෙතෙම කියා සිටියේය.

මේ අතර මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ උසස් නිලධාරීයෙක් “දිවයින”ට පැවසීය.

මෙම වර්ජනය පුද්ගලයන් 21 දෙනකු විසින් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමේ අරමුණින් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබඳව සැලකිල්ලට ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් අදාළ පැමිණිල්ල සිදුකරන බවත් හෙතෙම කීය.

දුම්රිය වැඩවර්ජනය පැවතියත් පෞද්ගලික බස් රථ ද අද උපරිමයෙන් ධාවනයට යොමු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා
ඡායා: නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment