අනුරාධපුරයේ ස්වයං උත්පාදන වැඩසටහනේ හබයකින් 10 කට තුවාල

42

අනුරාධපුර මහ නගර සභාවෙන් ස්වයං ආදායම් උත්පාදන වැඩසටහනක් අනුරාධපුර ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේ දී පුරා දින අටක් මුළුල්ලේ පැවැත්විණි.

පුරවර උදානය විනෝද සැණකෙළි භූමියේදී ගතවූ දින දෙක තුළ ප්‍රේක්ෂකයන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් දස දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

ඉකුත් 28 සහ 29 යන දෙදින මෙම ගැටුම් හටගෙන තිබේ.

එම පිරිස අතර තියුණු තලවලින් ගෙල සහ අත් කැපීම් සහ පහරකෑමට ලක්වූවන් සිටින බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයකු ඊයේ (30දා) පැවැසීය.

මේ අතර එම ගැටුම් වලින් සුළු තුවාල ලැබූ තවත් පුද්ගලයන් කීප දෙනෙකුම ගතවූ දෙදින තුළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

එම සැණකෙළිය ලංකාවේ වැඩිම ජන ගණත්වයකින් යුත් විනෝද සැණකෙළිය බව වාර්තා ගත වී ඇත.

එහි විනෝද සැණකෙළිය සහ පැවැති සංගීත ප්‍රසංග නැරඹීමට එම සැණකෙළිය ආරම්භක දින කීපයේ ප්‍රවේශ පත් රැගෙන දිනකට නරඹන්නන් විසිපන්දහසත් තිස් දහසත් අතර සංඛ්‍යාවක් සහභාගී වී තිබිණි.

මේ අතර ඉකුත් 28වෙනිදා ලංකාවේ තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන Infinity සංගීත කණ්ඩායම සිය යුරෝපා සංචාරය නිමවා අනුරාධපුරයට ප්‍රථම වරට පැමිණ පුරවර උදානය සැණකෙළි භූමියේදී පැවැත්වූ සංගිත ප්‍රසංගය නැරඹීමට ලක්ෂය ඉක්මවූ ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගී වූහ.

මේ අතර පෙරේදා (29 දා) රාත්‍රී පැවති ප්ලෑෂ් බැක් සංගිතවත් කළ ප්‍රසංගය නැරඹීමට ද පනස්දහස ඉක්මවූ ප්‍රේක්ෂකයින් පිරිසක් එක්වූහ.

ඉකුත් 28 වෙනිදා පැවති ප්‍රසංගය නැරඹීමට හතළිස් දහසක පමණ පිරිසක් පැමිණෙතැයි අපේක්ෂාවෙන් අනුරාධපුර මහ නගර සභාව ඔවුන් වෙනුවෙන් සියලු පහසුකම් සලසා තිබූ අතර රාත්‍රී 11.00 පමණ වන විට ප්‍රසංගය ආරම්භ කිරීමත් සමග සැණකෙළි භූමියට ඇතුළුවීමට නොහැකිව සැණකෙළි භූමියෙන් පිටත රැඳී සිටි ප්‍රේක්ෂකයන්ගේ පීඩනය හමුවේ කුපිත වූ පිරිසක් එක්වරම ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඇතුළු වැට කඩුළු කඩා ගෙන සැණකෙළි භූමියට ඇතුළු වූහ.

එසේ ඇතුළු වූ සංඛ්‍යාව හැට දහස ඉක්මවන්නට ඇති බව එහි සංවිධායකයින් පවසති.

අනතුරුව උද්ගත විය හැකි ගැටුම් පාලනය කිරීමට උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන සහ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ යන මහත්වරුන්ගේ උපදෙස් හා ඍජු අධීක්ෂණය යටතේ ඉකුත් 28 දා සහ පෙරේදා (29දා )රාත්‍රී අතිරේක පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරී කණ්ඩායම් සහ යුද හමුදාව කැඳවා ආරක්ෂාව තර කොට තිබිණි.

එසේ තිබියදී මෙලෙස සැණකෙළි භූමියේ තැන තැන මත්ද්‍රව්‍ය ලෝලීන් අතර ගැටුම් පැවතිණි.

අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී කියා සිටියේ එදින සැණකෙළි භූමියට හතළිස් දහසක පමණ ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කළමුත් අනපේක්ෂිත අයුරින් දහස් සංඛ්‍යාත පිරිසක් ප්‍රධාන ගේට්ටුව ඇතුළු වැට කඩොළු කඩාගෙන සැණකෙළි භූමියට ඇතුළු වූ බවත් පැවැසීය.

එදින සංගිතය සැපයීමට සහභාගී වූ සංගීත කණ්ඩායම ලංකාවේ තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රිය නිසා මහනුවර, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර සහ වව්නියාව යන දිස්ත්‍රික්ක වලින් ප්‍රසංගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටිහ. සංගිත ප්‍රසංගය නැරඹීමේ අපේක්ෂාවෙන් සැණකෙළි භූමියෙන් පිටත රැඳී සිටි පිරිස අතර ඇතිවූ පීඩනය එසේ සැණකෙළි භූමියේ ප්‍රධාන දොරටුව සහ වැට කඩොළු කඩාගෙන ඒමට හේතු විය.

නගර සභාවේ පොදු දේපළවලට අලාභ හානි සිදු කිරීමේ චෝදනාව මත ඔවුනට එරෙහිව අනුරාධපුර පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

සැණකෙළි භූමියේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට ද මොකුත් කරකියා ගත නොහැකි වුණා යැයි ද නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවැසීය.

අනුරාධපුර විශේෂ- පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment