අපහාස ප්‍රචාර මගින් සැකකරු ගිය වසරේ ලක්‍ෂ 146 ක් උපයලා

680
  • – ජ්‍යෙ. නි. සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

දළදාවට නිගරු කළ සේපාල් යළි ඇතුළට

ශ්‍රී දළදා වහන්සේට හා බොදු දහමට නිගරු වන ලෙස ප්‍රකාශ කිරීමේ චෝදනා එල්ල වී ඇති වෙබ් අඩවි ක්‍රියාකාරිකයකු වන සේපාල් වර්ණකුමාර අමරසිංහ නමැත්තා ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (10 දා) නියෝග කළේය.

එම සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය එදින නිකුත් කරන බව පෙන්වා දෙමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

නිදහස් මාධ්‍යවේදියකු යැයි කියන නාමය තමන්ටම ආරූඪ කරගත් එම සැකකරු බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේට එවැනි අපහාසාත්මක ප්‍රකාශ කර ඇත්තේ එක්ලක්‍ෂ 72 ක් පමණ වන සිය වෙබ් අඩවි ග්‍රාහකයන්ට උත්තේජනයක් ලබාදී වැඩි වැඩියෙන් මුදල් ඉපැයීමේ අරමුණින් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය. ඔහු එවැනි අපහාසාත්මක ප්‍රචාර මගින් මසකට රුපියල් ලක්‍ෂ 14 ක පමණ මුදලක් උපයා ඇති බවත් 2022 වසර තුළදී පමණක් රුපියල් ලක්‍ෂ 146 ක පමණ ආදායමක් ඔහු උපයා ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ජාතික හා ආගමික සංහිඳියාවට බාධාවක් වන එවැනි ප්‍රකාශ නිසා අප රට ආගම් වශයෙන් බෙදා යුද්ධ කර ගැනීමට පෙළඹවීම සැකකරුගේ අදිටන වී ඇතැයි ද පැවසීය.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත, පුරාවිද්‍යා පනත හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන චෝදනා එම සැකකරට එරෙහිව ගොනුකර තිබිණි.

සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා මහතා ඇතුළු නිලධාරි කණ්ඩායම් හා රජයේ අධිනීතිඥවරුන් වන ඇන්ටනි ගුණවර්ධන හා සජිත් බණ්ඩාර යන මහත්වරුන් සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

පැමිණිල්ල නැගූ එම සියලු චෝදනා පදනමකින් තොර ඒවා බව පෙන්වා දෙමින් නීතිඥ නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු දැක්වූහ.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ රෝහණ කාරියවසම් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment