අපේ ප්‍රින්සිපල් 22 වැනිදාට දින සියයයි

ශ්‍රී ලාංකේය සිනමා කේෂ්ත්‍රයට පායා ආ නවක අධ්‍යක්ෂවරයෙක් වුණු ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂණය කළ ‘අපේ ප්‍රින්සිපල්’ සිනමා නිර්මාණය තිරගත කිරීම ආරම්භ කර එළැඹෙන 22 වැනිදාට දින සියය සපිරීමට සූදානම් වේ. මේ ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය යි. ක්‍රිස් ඇන්තනීගේ අධ්‍යක්ෂණය කළ පාස්පෝර්ට් චිත්‍රපටය ද නුදුරේ දීම තිරගත කිරීමට ද නියමිතය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ආරම්භ කළ සැවෝයි සිනමා වසන්තය හරහා තිරගත කිරීම ආරම්භ කළ අපේ ප්‍රින්සිපල් දින සියය සපුරන්නේ බාධක රැසක් මැද ය. ඉතිං මෙහි අධ්‍යක්ෂ ක්‍රිස් ඇන්තනී සමග දිවයින සිනමා කලා සංවාදයක නියැළුණේ ඒ අභියෝගයන් ජයගත් ආකාරය ගැන සඳහන් කිරීමටය.

අපේ ප්‍රින්සිපල් සිනමා නිර්මාණය එළැඹෙන 22 වැනිදා ට දින සියය සපුරනවා. ඇත්තට ම මොකද හිතෙන්නේ ?

ඇත්තට ම අපි දින සියය සපුරන්නේ සිනමාහල් හතළිස් නවයක් සමගයි. ඒක විජයග්‍රාහී දවසක්. ඒකට හේතුව තමයි සිනමා ඉතිහාසයේ පළමු වතාවට සිනමාහලක එක දර්ශනවාරයකින් තමයි මේ චිත්‍රපටය දින සියය සපුරන්නේ. මේ වෙනකොට ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපි කණ්ඩායමක් විදිහට ලබපු ලොකු ජයග්‍රහණයක්. මේක මගේ දෙවැනි චිත්‍රපටය. නමුත් මුලින් ම තිරගත වුණේ මේ සිනමා නිර්මාණය.

මම චිත්‍රපට හදන්නේ ගැලරියට මිනිස්සු ගේන්න - අධ්‍යක්ෂ ක්‍රිස් ඇන්තනී
මම චිත්‍රපට හදන්නේ ගැලරියට මිනිස්සු ගේන්න - අධ්‍යක්ෂ ක්‍රිස් ඇන්තනී

සැවෝයි සිනමා වසන්තය හරහා තමයි මේ සිනමා නිර්මාණය තිරගත කිරීම ආරම්භ වෙන්නේ. හැබැයි ප්‍රදර්ශනය ආරම්භ කරනකොට ම ගොඩක් ප්‍රශ්නවලට මුහුණදෙන්න එහෙම සිද්ධවුණා කියන්නේ ඇත්ත ද?

මම චිත්‍රපට හදන්නේ ගැලරියට මිනිස්සු ගේන්න - අධ්‍යක්ෂ ක්‍රිස් ඇන්තනී
සම නිෂ්පාදක උපුල් සහ ඉන්දික

මේක පටන් ගන්නකොට සමහරු කිව්වා නිෂ්පාදකවරු බිල්ලට තියලා වැඩපටන්ගන්නවා කියලත්. තවත් අය කිව්වා සති දෙකෙන් මේ සිනමා නිර්මාණ හතර ම ඉවරයි කියලා. නමුත් අපිට ලොකු විශ්වාසයක් තිබුණා අපේ සිනමා නිර්මාණය ගැන. ඒකට හේතුව එහි තිබුණ කතා සංකල්පය වගේ ම එම නිර්මාණයේ තිබුණු උසස් තත්ත්වය ගැන. තවද මෙහි සම නිෂ්පාදකවරු දෙදෙනා වන උපුල් ධර්මසේන වගේ ම ඉන්දික විමලරත්නත් අපි ගැන ලොකු විශ්වාසයක් තැබුවා. සිනමා වසන්තය ආරම්භ කළ ඊඒපී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී කමින්ද සමරකෝන්ට මෙහිදී විශේෂ ස්තුතියක් කරන්න ඕනෑ මේ වගේ අවස්ථාවක් අපිට ලබාදීම ගැන. ගොඩක් අය එක එක දේවල් කිව්වාට අවසානයේ අපි ජයග්‍රහණය කළා.

මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර විනාශ වෙන එක ගැන තමයි මේ සිනමා නිර්මාණයෙන් කතාබහ වෙන්නේ. චිත්‍රපට කේෂ්ත්‍රයේ ඉන්න සමරු කැමැති නැහැ අලුත් අය එනවාට. ඔන්න ඔය වගේ ප්‍රශ්න එක්ක තමයි මම මේ ගමන ආවේ. අපිට බාධා කරපු අයට අපි උත්තර දුන්නේ සිනහවෙන්.

අපේ ප්‍රින්සිපල් තිරගත කිරීමේ දී ආපු ගැටලු හින්දා ම මේක පැත්තකට දාලා ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතුණ වාර එහෙමත් ඇතිනේ ද?

අපිට ගොඩක් දෙනෙක් බැන්නා මේක ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක් ලෙස තිරගත කරන්නේ නැත්තේ ඇයි කියලා. අනික මේක අතර මැද කෙටි කාලයකට තිරගත කරන්නේ ඇයි කියලත් තවත් සමහරු ඇහැව්වා. ඇත්තට ම මේක ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක් ලෙස තිරගත කළා නම් මීට වඩා ලොකු ගමනක් යන්න තිබුණා කියලත් හිතෙනවා. ඊට වැඩිය අපි අභියෝගයක් භාරගත්තා. ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක් ලෙස තිරගත කරනකම් බලාගෙන හිටියා නම් රටක් විදිහටත් අපි මීට වඩා ආපස්සට යනවා. මොකද මේ දවස්වල පාසල් දරුවන් වැඩිවශයෙන් මත්ද්‍රව්‍යවලට නැඹුරු වෙනවා දකින්න ලැබෙනවා. ඒ ගැන පුවත් අපිට නිතර නිතර විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ද දකින්න ලැබෙනවා. තවදුරටත් අපි මේ චිත්‍රපටය තිරගත කිරීම ප්‍රමාද කළා නම් මත්ද්‍රව්‍යවලින් දරුවන් ට වගේ ම සමාජයට වන විනාශය පැහැදිලි කරලා දෙන්න තවත් කාලයක් ගතවෙනවා. මොකද මේ දිනවල රජය ගෙන යන යුක්තියේ මෙහෙයුම වැඩපිළිවෙළත් ඉතා සාර්ථකව සිදුවෙනවා. ඉතිං මේ චිත්‍රපටය අවුරුද්දක් විතර ප්‍රමාද කළා නම් අපිට බේරාගන්න පුළුවන් දරුවන් ප්‍රමාණය නැතිවෙනවා. මේ චිත්‍රපටය දැනට ලක්ෂයකට අධික ප්‍රමාණයක් නරඹලා තියෙනවා. අඩුම තරමේ මේ චිත්‍රපටය නරඹපු ලක්ෂයෙන් දසදහසක් හරි ඉන් බේරාගන්න පුළුවන් වුණා නම් ඒක හොඳ සමාජ සේවයක්නේ.

මම චිත්‍රපට හදන්නේ ගැලරියට මිනිස්සු ගේන්න - අධ්‍යක්ෂ ක්‍රිස් ඇන්තනී

මේ චිත්‍රපටයට නිෂ්පාදකවරයෙක් හොයගන්න පිටපත ලියලා හතර අතේ යන්න සිද්ධවුණා කියලත් ආරංචියි ?

මේක අපි මුලින් ම නිර්මාණය කළේ පාසල්වල ප්‍රදර්ශනය කිරීමට. එතකොට මේක අපි නිර්මාණය කරන්න කුඩා කුඩා ආයෝජනකයන් කිහිපදෙනෙක් එකතුවෙලා තමයි මූලික වියදම හොයාගත්තේ. නමුත් අන්තිමේ මේක සිනමා නිර්මාණයක් දක්වා දුරදිග ගියා. අපි මෙහි ප්‍රධාන චරිතයට මුලින් ම දිල්හානි අශෝකමාලාව ගන්න හිටියේ නැහැ. මොකද ඇයව ප්‍රධාන චරිතයට ගන්න පවා මුදල් තිබුණේ නැහැ. රෙඩ් කැමරාවක් ගන්න පවා මුදල් තිබුණේ නැහැ. පොඩි කැමරාවකින් කරමු කියන අදහසේ තමයි හිටියේ. අන්තිමේදී අපි තීරණය කළා මේක ප්‍රධාන සිනමා නිර්මාණයක් ලෙස නිෂ්පාදනය කරන්න. ඒ වෙලාවේ මේකට කවුරුවත් උදව් කළේ නැහැ. ගොඩක් අය අපිට මේ සඳහා මුදල් ලබාදෙනවා කියලා අපිව මගහැරියා. අන්තිමේ මම සල්ලි පොලියට පවා ගත්තා. අර්බුද මැද්දේ තමයි මේක නිෂ්පාදනය කළේ. සමහර යාළුවෝ පවා මාව අතහැරියා. සමාජය මේක බැලුවේ නැතිනම් අපි වියදම් කළ මුදල් පවා නැතිව අපිට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. චිත්‍රපටය සිනමා ප්‍රදර්ශකයනට පෙන්වූවට පසුව තමයි අපිට සම නිෂ්පාදකවරු දෙදෙනෙක් මුණගැසුණේ. එතකම් මේ ගේම් එක ගැහැව්වේ ක්‍රිස් ඇන්තනී තමයි. නමුත් අවසානයේ සම නිෂ්පාදකවරු දෙදෙනා වන උපුල් ධර්මසේන වගේ ම ඉන්දික විමලරත්න මෙහි ඉතිරි අභියෝගය භාරගත්තා.

මම චිත්‍රපට හදන්නේ ගැලරියට මිනිස්සු ගේන්න - අධ්‍යක්ෂ ක්‍රිස් ඇන්තනී

නවක අධ්‍යක්ෂවරයෙක් විදිහට අපේ රටේ සිනමා කර්මාන්තය ගැන මොකද හිතන්නේ ?

ඇත්තට ම අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය කාලයේ අපේ රටේ සිනමා හල් රැසක් වැසුණා. ඒකට ප්‍රධාන හේතුව අධ්‍යක්ෂවරු නැතිනම් නිර්මාණකරුවන් සිනමා කර්මාන්තය ගැන හිතුවේ නැහැ. ඔවුන් ගොඩක්ම හිතුවේ ඔවුන්ගේ ඔළුවේ තියෙන වැඩේ කරගන්න විතරයි. නිෂ්පාදකවරයා බේරාගන්නවා ද? නැතිද? කියන කාරණාව අදාළ වෙන්නේ ම නැහැ. සිනමා කර්මාන්තය බේරාගන්න නම් ගැලරියට සෙනග ගේන්න ඕනෑ. හෝල් පුරවන්න ඕනෑ. සිනමාහල් හිමිකරුවන් අපි බේරාගන්න ඕනෑ. එතකොට තමයි කේෂ්ත්‍රය රඳාපවතින්නේ. ලංකාවේ හැම තැනම හෝල් වැහෙන්න හේතුව නිර්මාණකරුවෝ මාර්කට් ගැන අධ්‍යයනයක් කරන්නේ නැතිව තමන්ට හිතුණ හිතුණ පිටපත් ලියලා නිෂ්පාදකවරයෙක් හොයාගෙන නිර්මාණ කිරීමයි. මම චිත්‍රපට හදන්නේ ගැලරියට මිනිස්සු ගේන්න. මගේ ඊළඟ පාර්ස්පෝස්ට් ෆිල්ම් එකත් මසාලා එකක් තමයි. මිනිස්සු ගැලරියට ගේන්න ඕනෑ. කාටහරි එක්කෙනෙකුට ගැලරියට කතා කරන්න පුළුවන්නම් අපේ චිත්‍රපට කර්මාන්තය හොඳ තැනකට ඒවි. එතකොට නවක නිෂ්පාදකවරු බිහිවේවි. මෙහෙම ගියොත් අපිට නිෂ්පාදකරු නැතිවේවි. අපි නිර්මාණකරුවෝ විදිහට හොඳට අධ්‍යයනය කරලා මිනිස්සුන්ට බලන්න පුළුවන් චිත්‍රපට හදන්න ඕනෑ.

දිනේෂ් විතාන

මම චිත්‍රපට හදන්නේ ගැලරියට මිනිස්සු ගේන්න - අධ්‍යක්ෂ ක්‍රිස් ඇන්තනී
advertistmentadvertistment
advertistmentadvertistment