අපි අඳුරට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ – සුදත් මහදිවුල්වැව

83

වෙනස් සිනමාවක් සොයන අපේ කාලයේ ප්‍රේක්ෂකාගාරයට සුදත් මහදිවුල්වැව තිළිණ කරන My Red Comrade සිනමා නිර්මාණයෙන් කතාබහ කරනුයේ එකිනෙකට වෙනස් පාරවල් දෙකකින්, එකිනෙකට වෙනස් පරම්පරාවල් දෙකක දෙදෙනෙක් එකම අරමුණක් වෙනුවෙන් හඹායන අයුරුය. ඉතිං සුදත් සමග මීවිත සංවාදයේ යෙදන්නේ ඒ ගැනය.

අපි අඳුරට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ - සුදත් මහදිවුල්වැව

සුදත් මහදිවුල්වැව දිගු නිහැඬියාවකට පසුව My Red Comrade ලෙසින් වෙනස්ම සිනමා නිර්මාණයක් බිහිකරනවා?

ඒ නිහැඬියාව අහඹුවක් නෙවෙයි. මොකද ඒ නිහැඬියාව සවිඤ්ඤානිකව මම දැනගෙන සිද්ධ වෙච්ච නිහැඬියාවක්. එකක් තමයි සිනමාව පවතින්න නම් සිනමාවේ ඊළඟ පරම්පරාවක් තියෙන්න ඕනෑ කියලා සිතීම. ඒක මේ මොහොතේ මට වෙන කිසි කලකටත් වඩා තේරෙනවා. සිනමා සාක්ෂරතාව තියෙන සිනමාකරුවෝ එන්න ඕනෑ. නැතිනම් මේ සිනමාව මෙතැනින් එහාට ගෙනියන්න බැහැ. ඒක වෙනුවෙන් සිනමා පාසලක් හදන එකට තමයි මූලික වශයෙන් මගේ කාලය වැය වුණේ. මේ සියල්ල අතරේ මම තිර නාටක හතක් ලියලා තියෙනවා. ඔය අවුරුදු 17 චිත්‍රපටයක් එළියට ආපු නැති එක හැරෙන්න මගේ ළඟ විශාල ආභ්‍යාසයක් තිබුණා.

My Red Comrade කියන්නේ පර්යේෂණාත්මක සිනමා කෘතියක්. මම හිතන්නේ ලංකාවේ ඔහොම පරීක්‍ෂණයක් කරලා නැහැ. ඉතිං ඔය පර්යේෂණය සිනමාවේ හතරකොන හරියට දන්නේ නැති, සිනමාවේ ව්‍යාකරණය අතැඹුලක් සේ දන්නේ නැති අවදියක තමයි මෙය නිර්මාණය වෙන්නේ.

එක දර්ශන තලයක්, චරිත දෙකක් සහ දින හතරක් වැනි සුළු කාලයකදී තමයි මේ චිත්‍රපටය ඉවර කළේ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේක ලාභ චිත්‍රපටයක් කියලත්. වැරදිලාවත් මේක ලාභ චිත්‍රපටයක් නෙමෙයි. මේක ලංකාවේ තිබෙන හොඳම 8ණ කැමරා එකකින් ෂූට් කරලා තියෙන්නේ. තාක්ෂණික පැත්තෙන් දුප්පත් කතන්දරයක් නෑ. අර්ථපතියා දෙන හැම රුපියලකටම වගකියනවා කියන තැන ඉඳලා වැඩක් කරන්න මට ඕනෑ වුණා. අවුරුදු 19 කට පස්සේ පුපුරන වෙඩිල්ල මල් වෙඩිල්ලක් වෙලා පොළවත් හාරගෙන අහසත් හාරගෙන යන්න ඕනෑ කියලා.

අපි අඳුරට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ - සුදත් මහදිවුල්වැව

ලංකාවේ ප්‍රේක්‍ෂකාගාරය ගැන ඔබ මොකද හිතන්නේ?

අපි මේ සිනමාපටයේ කියන ලයින් එකක් තියෙනවා ‘වෙනස් සිනමාවක් සොයන අපේ කාලයේ ප්‍රේක්‍ෂකාගාරය’ මම ඇතුළු මම වගේ හිතන තව මිනිස්සු ගොඩක් වෙනස් චිත්‍රපටයක් හොයනවා. වෙනස් ශානරයක් හොයනවා. වෙනස් හැඩයක් හොයනවා. වෙනස් සංකල්පයක් එක්ක චිත්‍රපටයක් කියන එකට පිපාසාවෙන් ඉන්නවා කියලා මම අත්දැකීමෙන් දන්නවා. ඉතිං ඒ ප්‍රේක්‍ෂකාගාරය දියුණු දෙයක් හොයද්දි අපි දියුණු දෙයක් දීලා තියෙනවා. ඉතිං ඔවුන් ඉල්ලන්නේ ඒක නෙමෙයි. මෙන්න මේ වෙනස් සිනමාවක් හොයන ප්‍රේක්‍ෂකාගාරයට මේ ආරංචිය හරිම වටිනවා.

දෙවැනි කාරණය තමයි චිත්‍රපටයක් සඳහා විශාල මුදලක් ඕනෑ වගේම විශාල දේවල් ටිකක් ඕනෑ කියන එක කුඩු පට්ටම් කරලා තිබෙනවා. අනෙක් කාරණාව තමයි මේක ඇතුළේ මේ පර්යේෂණයේ ගැඹුර තියාගන්න ගමන්ම අපි කතා කරන වස්තු විෂයේ ගැඹුරත් පොඩ්ඩක්වත් සිල්ලර කරන්නේ නැතිව ඒක ඇතුළේ තියෙනවා.

වාමාංශික දේශපාලන ව්‍යාපාරය පිහිටන්න ඕනෑ ස්ථානය චරිත දෙකක් අරගෙන නිර්මාණයකින් ජනගත කරන්න යෑම ලොකු අභියෝගයක්?

“මම උපන්ගෙයි වාමාංශිකයෙක්ද කියලා ඇහුව්වොත්” මම උපන්ගෙයි වාමාංශිකයෙක් නොවෙයි. හැබැයි වාමාංශික කියන සංකල්පයට මගේ විශාල ගෞරවයක් තියෙනවා. ඒ සංකල්පයේ තියෙන මුල් අදහස සහ මේ මොහොතේ අපි දකින ප්‍රායෝගික අදහස අතරේ විශාල හිස්තැනක් තිබෙනවා, රික්තකයක් තියෙනවා. ඒ කියන්නේ මුල් අදහස විශාල වශයෙන් විකෘති වෙච්ච මොහොතක තමයි අපි ඉන්නේ. මුල් අදහසේ තිබුණු ප්‍රායෝගික බව ආදරණීය බව සහ පරිසමාප්ත බව ප්‍රායෝගික තලයේදී වෙනස් වෙලා තිබෙනවා. මේ චිත්‍රපටයේ පිරිමියාගේ චරිතය ප්‍රායෝගිකව මේ මොහොතේ ඒ ක්‍රියාව ක්‍රියාත්මක කරන කෙනා. සමහර දේවල් පිළිබඳව එයා ඇත්තටම දන්නේ නැහැ.

ඇත්තටම මට ඕනෑ වුණේ වාමාංශික ව්‍යාපාරය ගැන හෝ මාක්ස් ලෙනින් සිද්ධාන්තය ගැන සාකච්ජාවක් ගෙන එන්න නෙවෙයි. ඒක ඇත්තටම මේ චිත්‍රපටයේ පාදම විතරයි.

මම චිත්‍රපටය කියන එක නිර්වචනය කරන්නේ රසවින්දනය සඳහා තියෙන්නාවූ මෙවලමක් කියන සරල අර්ථයෙන් නෙමෙයි. මම චිත්‍රපටය කියලා කියන්නේ සරලවම ගත්තහම ජීවිතය ආපහු අපට මුණගස්සන කැඩපතක්. ජීවිතය අපි ආපහු කැඩපතකින් දකිනකොට තමයි තේරෙන්නේ. මම කොච්චර කැතද? මම කොච්චර දුප්පත්ද? මට තියෙන ලස්සනයි අවලස්සනයි. මාව පේනකොට තමයි මාව වෙනස් කරන්න ඕනෑ වෙන්නේ.

අපි අඳුරට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ - සුදත් මහදිවුල්වැව

වෙනස් ශානරයක් තිරයට ගෙනැවිත් කතිකාවතක් හදන්න උත්සාහ කරන නිර්මාණකරුවන්ට දොර වැසෙන ස්වභාවයක් තිබෙනවාද?

මෙහෙමයි. එහෙම ගත්තොත් මට ඔබට එළි වෙනකම් කියන්න කාරණා තිබේවි. මම ජීවිතයේ ගණන් හදන විදිහ හරි වෙනස්. අපි දැන් අඳුරට බැණ බැණ ඉඳලා වැඩක් නැහැනේ. මම ඉටිපන්දමක් පත්තු කරලා තිබෙනවා. My Red Comrade කියන්නේ ඒ ඉටිපන්දම. ඒ ඉටිපන්දම අරගෙන යද්දී මගේ කකුල පැටලෙන්න පුළුවන්. වෙන්නේ නැති දේවල් කියන්න පුළුවන් ඕනෑ නැති දේවල් කියන්න පුළුවන්. පළමු ඉටිපන්දම පත්තු කරන මිනිසාට ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒ ප්‍රශ්න ටික දැනගෙන තමයි මම මේක කළේ. මට ප්‍රේක්ෂකාගාරය ගැන විශ්වාසයක් තිබෙනවා. හැබැයි විශ්වාසය තිබ්බාට බැහැ. ඒ මනුස්සයාගේ අහල පහළට චිත්‍රපටයක් ආවේ නැත්නම්. කිලෝමීටර් විසිපහක් තිහක් දුර ගිහිල්ලා චිත්‍රපටයක් බලයි කියලා. ප්‍රේක්‍ෂකයා ළඟට එන්නේ නැති එක චිත්‍රපටකරුවෙක් විදිහට මට මේ වෙලාවේ නිවැරදි කරන්න බැහැ. ඒක රටක්, රාජ්‍යයක්, ආයතනයක් විදිහට කෙරෙන්නෙ ඕනෑ වැඩක්. මම ඒ ගැන මොකුත් කියන්න යන්නේ නෑ. ඒක මගේ විෂය ඇතුළේ නෑ. ඒ සියල්ල මට හදන්න බෑ. මට හදන්න පුළුවන් හොඳ චිත්‍රපටයක් විතරයි.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment