අපේක්‍ෂා රෝහලේ පරිපාලන නිලධාරියාට මන්නෙන් කොටා පලාගිය සේවකයා පොලිසියට කොටු

97

මහරගම අපේක්ෂා රෝහලේ සේවක හා කාර්යාල පරිපාලන නිලධාරී වශයෙන් කටයුතු කළ එන්. ඩබ්ලිව්. සී. ප්‍රදීප රසාංග මහතාට රාජකාරී ගැටලුවක් මුල් කර ගනිමින් එම රෝහලේම සේවය කළ සෞඛ්‍ය කාර්ය සහායක වරයකු විසින් ඉකුත් 06දා රෝහල් කාර්යාලයේදී තියුණු ලෙස කැපෙන මන්නයකින් කොටා බරපතළ තුවාල සිදුකොට පලා ගොස් අවිස්සාවේල්ල ප්‍රදේශයේ සැඟව සිටියදී පහරදීමට යොදාගත් මන්නයද සමග ඊයේ (07 දා) උදෑසන අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය.

මෙම සිදුවීමේදී රෝහල් පරිපාලන නිලධාරියාගේ වම් අතට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් අපේක්ෂා රෝහල තුළදී වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය විසින් ශල්‍යාගාරයක් තුළදී ශල්‍ය කර්මයක් පවා සිදුකොට වැඩිදුර ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබූ බව පොලිසිය පැවසීය.

පහර දුන් සෞඛ්‍ය කාර්ය සහායකවරයා රෝහලේ මුළුතැන්ගෙයි සේවය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ යොදවා සිටි අයෙක් බවත් මීට සති කීපයකට ඉහතදී පරිපාලන නිලධාරීවරයා විසින් ගත් තීරණයක් මත සෞඛ්‍ය කාර්ය සහායකවරයා රෝහලේ 24 වැනි වාට්ටුවේ සේවය සඳහා යෙදවීමත් සමග සිත් තැවුලෙන් හා නොසන්සුන් තත්ත්වයෙන් සිටි බැවින් මෙම ක්‍රියා මාර්ගය ගත් බව පොලිසිය විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සෞඛ්‍ය කාර්ය සහායකයා පාපොච්චාරණය කළ බව පොලිසිය පවසයි.

අධික ලෙස ලේ වහනය වීම දුටු බැවින් බියට පත්වීම හේතුවෙන් එම ස්ථානයේ රැඳී නොසිට පැනගොස් අවිස්සාවේල්ල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසේ සැඟව සිටියදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. සී. රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. අසංක පතිරණ, පො.සැ. වරුන් වන (43672) සුරංජිත්, (5007) කමල්සිරි, පො.කො. වරුන් වන (92521) සමරසිංහ, (84742) ලක්ෂාන්, (73917) සමන්, (102924) කුලරත්න යන නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කරනු ලබයි.

එස්. ඩී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment