අපේ රටේ තරුණ පරම්පරාවට දේශපාලනයේ සුක්කානම බාරදිය යුතුයි – අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)

68

අපේ රටේ තරුණ පරම්පරාවට දේශපාලනයේ සුක්කානම බාරදිය යුතුයැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජාතික ජන බලවේගය සංවිධානය කළ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ සමුළුව අමතමින් ඒ මහතා පසුගියදා මේ බව පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

මේ වනවිට අයහපත් කාලගුණික තත්වය හේතුකොටගෙන ආපදා තත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල ජනතාව අවතැන්වී සිටිනවා. ඒ වගේම ජීවිත අහිමිවීම් කිහිපයක් වාර්තා වී තිබෙනවා. වර්ෂාව නිසා මිය ගිය හා අසරණභාවයට පත්වූ ජනතාවට ජාතික ජන බලවේගය ලෙස අපේ පැත්තෙන් උදවු කරන්න, සහාය දෙන්න අපේ සහන සේවා බළකායන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එහෙත් ගංවතුර හේතුවෙන් සමහර ප්‍රදේශවල යෑමට නොහැකිව තිබෙනවා. ගංවතුරකින් මිය යෑමටත්, මෙතරම් විශාල සංඛ්‍යාවක් අවතැන් වීමත්, සිදුවිය යුතු නැහැ. වැස්ස ස්වභාවිකයි. නමුත් අනතුර ස්වභාවික නැහැ. අපේ රටේ පාලකයින් දීර්ඝ කාලයක් අනුගමනය කරන ලද වැරදි සංවර්ධන ප්‍රතිපත්තිවල ප්‍රතිඵල තමයි වර්තමාන පරම්පරාව මේ භුක්ති විඳිමින් තිබෙන්නේ. ලෝකයේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව විසින් මෙවැනි අනතුරක් කල්තියා හඳුනාගෙන, වර්ෂාව වැඩිපුර ලැබෙන්නේ කුමන ප්‍රදේශයටද, ගංවතුර අවදානම තිබෙන්නේ කුමන ප්‍රදේශයටද යන්න හඳුනාගත හැකිව තිබෙනවා. හඳුනාගෙන මෙම ව්‍යසනයන් අවම කරගත හැකිව තිබෙනවා. දත්ත, තොරතුරු ලබාගැනීමට හැකි තාක්ෂණය දියුණු වී තිබෙනවා. නමුත් අපේ රටේ තාක්ෂණය උපයෝගීකර ගැනීමට අසමත්වී තිබෙනවා. මේ ව්‍යසනයන් අපට අඬගසා කියන්නේ මේ රට වෙනස් කළ යුතුයි කියන පණිවිඩයයි.

මේ ඉන්නේ ඉතාමත් ප්‍රබල බලපෑමක් කළ හැකි තරුණ පරම්පරාවක්. මේ පරම්පරාව ලෝකයට විශාල පණිවිඩයක් හා අත්දැකීමක් දුන්න පිරිසක්. අපේ පැරණි දේශපාලකයන්ටත්, දේශපාලකයන්ගේ ප්‍රතිපත්තිවලටත් ප්‍රබල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. මීට වසර දෙකකට පෙර මෑත ඉතිහාසයේ විශාල ස්වභාවික ජන නැගිටීමක් සිදුවුණා. පසුගිය දශක කිහිපය ඇතුලේ කොතනකවත් ජනතාව ස්වභාවික ලෙස සංවිධානය වෙලා පාරට බැහැලා, එහි පාලකයන් පලවා හැර නැහැ. මැදපෙරදිග යම් යම් රටවල්වල සිදුවීම් තිබුණත් ඒවා සිදුවුණේ යටි අරමුණු සහ යටි මැදිහත්වීම් අනුව. අපේ රටේ ස්වභාවිකව ජනතාව නැගිට්ටා. මේ ජනතාව අවදි කිරීමේ විශාල කාර්යභාරය කළේ වත්මන් තරුණ පරම්පරාව. වර්තමාන ලෝකය අපේ කාලයේ තිබුණු පරම්පරාව නොවෙයි. 1995 සිට 2009 දක්වා අවුරුදු 15 ඇතුළත ඉපදුණු පරම්පරාව ඉෂෙඩ් පරම්පරාව කියලා අපි හඳුන්වනවා. ඉන්පසු පරම්පරාව ඇල්ෆා පරම්පරාව කියලා හඳුන්වනවා. අපේ පරම්පරාව එක්ස් පරම්පරාව 1965-1979 අතර ඉපදුණු අයයි. මෙතනට රැස්වී සිටින බොහෝ දෙනා අයිති වෙන්නේ ඉෂෙඩ් පරම්පරාවටයි. අපේ රටේ තිබෙන ගෘහ ඒකක ලක්ෂ 52න් ඒකක ලක්ෂ 30ක ඉෂෙඩ් පරම්පරාවට අයත් තරුණයෙක් හෝ තරුණියක් ජීවත් වෙනවා.

අපේ රටේ තරුණ පරම්පරාවට දේශපාලනයේ සුක්කානම බාරදිය යුතුයි - අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)

තරුණ පරම්පරාව ප්‍රතික්ෂේප කරන ලද ආර්ථිකයක් මේ රටේ තිබෙන්නේ. තරුණ පරම්පරාව වෙනස්වුණු වේගයට ආර්ථිකය වෙනස් වුණේ නැහැ. ඒ නිසා මේ ආර්ථිකය සමග සම්බන්ධ නොවෙන විශාල තරුණ පරම්පරාවක් එළියේ ඉන්නවා. ඒ තරුණ පරම්පරාවේ සිතුවිලි, අපේක්ෂාවන්, ජීවන රටාවන්වලට අනුරූපවන පරිදි ගලපන ආර්ථික ක්‍රමයක් ගොඩනැගීම අපේ අරමුණයි. 2030 වන විට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් ලෝකයට අවශ්‍ය වෙනවා. ඊට අදාළ සැලසුම්වලට තරුණ පරපුර ගෙනයන්න මේ පාලකයන් සැලසුම් සකස්කර තිබෙනවාද? එසේ නොවෙන නිසා අනාගත අවිනිශ්චිතතාවයෙන් පෙළෙන, රට අත්හැර යාමේ අරමුණ සහිත තරුණ පරපුරක් අද ඉන්නේ. නමුත් ඔබේ සිතුම් පැතුම්, අපේක්ෂාවන්, විලාසිතාවන්වලට අනුරූප සිනමාවක්, සංගීතයක්, ක්‍රීඩාවක් සම්බන්ධයෙන් සැලසුම් පවතින්නේ ජාතික ජන බලවේගයට පමණයි. නූතන ලෝකය සමග අත්වැල් බැඳගෙන යන ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවේ අරමුණු, ඉටුකරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අපි ලෝකයේ ඉතාමත් ප්‍රාථමික ශ්‍රම වෙළෙඳපොළක් මේ වන විට අත්පත්කරගෙන ඉන්නේ. මේ පරම්පරාවේ දුවා දරුවන්ගේ අනාගතය නිර්මාණය කිරීමේ සද් වුවමනාවක් අපට තිබෙනවා.

ඒ වගේම සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය ගෙනයන පවුල් දේශපාලනය තරුණ පරම්පරාව අතට මාරු කළ යුතුව තිබෙනවා. ස.ජ.බ. හෝ වෙන කිසිවෙකු එවැනි බලයක් තරුණ පරම්පරාවට ලබාදෙන්නේ නැහැ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ ඔබගේ බලය, ශක්තිය ඇතුගල්පුරටත් වඩා විශාල බව අපි හිතනවා. අපි හැමෝම එකතුවී ප්‍රබෝධමත්ව සතුටින් ජයග්‍රහණයේ ආස්වාදය සහිතව සිනහමුසු මුහුණින් මේ පරිවර්තනයට දායක වෙමු. සියලු දෙනාට ජය ප්‍රාර්ථනා කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment