අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඇයි මෙහෙම වුණේ

6978

අඩු කුලේ මිනිහෙක් රජ වූවොත් ග්‍රාමසේවකයකු රජ වූ කලක මෙන් මුළු රටම විනාශ වන බව සමන්ත්‍රභද්‍ර හිමියෝ පවසති. මේ කතුවැකිය ලිවීමේදී අප මුලින්ම සඳහන් කළ යුත්තේ සමන්තභද්‍ර හිමියන් සමග අපට කිසිදු පුද්ගලික ප්‍රශ්නයක් නැති බවය. පිටිදූවේ සිරිධම්ම නමැති බී.එස්.සී. උපාධිධාරී උගත් භික්‍ෂුවකු ලෙස ධර්ම දේශනා කර පසුව මහායානයට ගොස් සමන්තභද්‍ර ලෙස නම වෙනස් කර ගැනීමට උන්වහන්සේ කටයුතු කිරීම ගැන ද අපට කිසිදු අවුලක් නැත. අප දන්නා පරිදි සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ ශාසනය වෙනම එකකි. එම සසුනේ ඉගැන්වීම් තුළ බුදුදහමින් ලබාගත් ඉතාම වැදගත් කොටස් තිබේ. අප දන්නා පරිදි සමන්තභද්‍ර භික්‍ෂුවට මුළු ත්‍රිපිටකයම කටපාඩම්ය. ඕනෑම දහම් ගැටලුවකට පිළිතුරු දීමට උන්වහන්සේට හැකියාව තිබේ. එමතුද නොව උන්වහන්සේගේ ශාසනය තුළ භික්‍ෂුණී ශාසනයක් ද තිබේ. එම ශාසනයේ පැවිදි වන කාන්තාවකට භික්‍ෂුණියක ලෙස උපසම්පදාව ලබාගැනීමට ද පුළුවන. මෙය ඉතා සාධාරණ ක්‍රියාවකි. යල් පැනගිය මතවාද සමග මේ පුවත්පත සම්බන්ධකම් නොපවත්වයි. එසේම සමන්තභද්‍ර භික්‍ෂුව රට සංවර්ධනය කිරීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඒවායේ නිදර්ශක හෙවත් මොඩල් තනා ඇත. ඒවා අතරින් කුරුණෑගල පිහිටි උමන්දාව ඉතා වැදගත්ය. මෙය පළමු කොට ආගමික සංකීර්ණයකි. දෙවනුව ගොවි බිමකි. තෙවනුව නිෂ්පාදන සංකීර්ණයකි. සිව්වනුව සීමාසහිත විනෝදාස්වාදයක් ලබාදෙන අධ්‍යාපන මධ්‍යස්ථානයකි. උමන්දාවට යාබදව උන්වහන්සේ පිළිකා රෝහලක් ද ඉදිකරති. උන්වහන්සේගේ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට කිසිදු පරිත්‍යාගශීලියෙක් දෙවරක් කල්පනා කරන්නේ නැත. එහෙත් උන්වහන්සේ සතුව ඇති මුඛවහන්සේට බ්රේක් නැත. මේ නිසා උන්වහන්සේ නිතරම මහනුවර මහනාහිමිවරුන් හමුවී සමාව ගනිති. දැන් ඉතින් උන්වහන්සේ ගැන හොඳ කිව්වා ඔය මදෑ. මෙතැන් සිට අපේ ප්‍රශ්නයට පිවිසෙමු.

අඩු කුලේ මිනිහෙක් රජ වුණොත් මුළු රටම විනාශ වන බව කීමෙන් සමන්තභද්‍ර හිමියෝ මනුෂ්‍යත්වයට පා පහර එල්ල කර නිග්‍රහ කර ඇති බව අපගේ මතය වේ. කුලය යන සාධකය පිළිබඳව උන්වහන්සේට වැටහීමක් නැත. කෙනකු වසලයකු වන්නේත් බ්‍රාහ්මණයකු වන්නේත් ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකලාපය නිසා බව බුදුන්වහන්සේ දේශනා කළහ. ඒ අනුව අප කල්පනා කරන්නේ සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ පෙර කී අදහස කටින් කියූවක් නිසා එය ක්‍රියාවක් බවට පත්වන බවය. මෙහිදී උන්වහන්සේ බුද්ධ දේශනාවට අනුව බ්‍රාහ්මණයකු නොවන බව අපට පෙනී යයි. කුල ධුරාවලිය යනු නූතන ලෝකයේ කිසිවකු විසිනුත් තඹ සල්ලියකට ගණන් නොගන්නා කාරණයකි. ආසියාවේ තිබෙන රටවල් දෙක තුනක් හැර ලෝකයේ වෙන කිසිදු රටක් කුලය ගණන් ගන්නේ නැත. කුල සංකල්පය බිහිවී ඇත්තේ අතීතයේ සිටි ජනයාගේ වෘත්තීය ස්වභාවය අනුවය. අසුවල් රැකියාව කරන්නා අසුවල් කුලකයට අයත් බව අතීතයේදී තීරණය කරන ලදී. කුලය යන වචනය බිඳී එන්නේ එක්කෝ කුලකය යන වචනයෙනි. නොඑසේ නම් කුලකය යන වචනය හැදෙන්නෙ කුලය යන වචනයෙනි. බුදුන්වහන්සේට ජාතිය, කුලය ආගම යන කාරණා ගැන බේදයක් තිබුණේ නැත. ඉපැරැණි ඉන්දියාවේ බ්‍රාහ්මණ වංශිකයන් පහත් යැයි සම්මත කුලවල ජනතාවට කරන හිංසා පීඩා දුටු කල්හි උන්වහන්සේ මහත්සේ කලකිරීමට පත් වූහ. එමතුද නොව උන්වහන්සේ හැකි සෑම විටකම කුල භේදයට පහර දුන්හ. අඩු කුලේ යැයි සම්මත ජනයාගේ ගෙවල්වලින් දන් ලබාගැනීමට උන්වහන්සේ මහත්සේ ප්‍රිය කළහ. සමන්තභද්‍ර හිමියන්ට කටපාඩම්, අපට කටපාඩම් නැති බුද්ධ චරිතය කියවන විට එබඳු විස්තර සොයාගත හැකිය.

සමන්තභද්‍ර හිමියන් කියන පරිදි රජ කුලේ ජනයා අද මේ රටේ නැත. කිසිදු සිංහල රජ කෙනකුගෙන් පැවැත එන කෙනකු සොයා ගැනීමට නොහැක. වඩුග රජකු ලෙස ලේබල් කරන ලද, මත්පැන් පානයට හුරුවී බේබද්දකු වීම නිසා චාටර් වී ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඥාතීන් කිහිප දෙනකු විටින් විට මතුවී අතුරුදන් වන හැටි යූටියුබ් එකෙන් බලාගත හැකිය. දුටුගැමුණු රජතුමන්ගේ ලේ නෑයෙක් සොයා ගැනීමට නැත. සමහරු තමන් දුටුගැමුණු පරපුරෙන් පැවැත එන බව කීවද ඒ සියලු දෙනාම පල් හොරුය. මහා පරාක්‍රමබාහුගේ ලේ නෑයෝ මෙහි සිටිත්ද? අඩු ගණනේ රාජාධිරාජසිංහ හෝ කීර්ති ශ්‍රී රාජසිංහගේ ලේ ඥාතියකු සොයාගත හැකිද? සෙනරත් රජුගේ ලේ නෑයන් කොහිද? එවැනි අය සිටියත් ඒවා ඔප්පු කර ගන්නේ කෙසේද? රාජ ලේ ඇති බංකොලොත්කාරයන් ඉන්දියාවෙන් සොයාගත හැකිය. ඒ අනුව රජ කුලයේ කෙනකු රජු කරවීමට නම් ඉන්දියාවේ එවැනි බංකොලොත්කාරයකු ඉන්පෝට් කර සූට් එකක් දමා ගේමක් ගැසිය හැකිය. ලෝකය වෙනස් වී තිබෙන බව සමන්තභද්‍ර හිමියෝ නොදනිති. ශ්‍රී ලංකාව රාජාණ්ඩුවක් නොව ප්‍රජාතන්ත්‍රවාදී මහජන ආණ්ඩුවක් ඇති රටකි. මේ නිසා රටේ නායකයා එන්නේ මහජනතාව අතුරින්ම ය. එහිදී ඒ එන එකා රජ කුලයේ ද, රදළ කුලයේ ද නැතිනම් ගොවිගම කුලයේ ද යන්න සෙවීම ඵලක් නැත. සමන්තභද්‍ර හිමිගෙන් අපි ප්‍රශ්නයක් අසමු. මේ රටේ බුදුදහමට සහ ජාතියට මහත් සේවාවක් කළ නිශ්ශංකමල්ල රජතුමා කවර කුලේක ද යන්න සමන්තභද්‍ර හිමියෝ දනිත්ද?

advertistmentadvertistment
advertistmentadvertistment