පවතින ආර්ථික තත්ත්වය මත ඉහළ යමින් පවතින බඩු මිලට සහ සේවා මිලට සාපේක්‍ෂව එළැඹෙන අයවැයෙන් රුපියල් 20,000 ක දීමනාවක් හෝ 20,000 ක වැටුප් වැඩි වීමක් ලබාදෙන ලෙස රජයට බල කරමින් ඊයේ (30 දා) කෑම පැයේදී රාජ්‍ය හා පළාත් රාජ්‍ය ආයතන 300 ක් පමණ දීපව්‍යාප්ත විරෝධයකට රොද බැඳුනි.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාව සාර්ථකව ක්‍රියාත්මක වූ බව එම එකමුතුවේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (30 දා) සඳහන් කළේය.
2016 වසරේදී රාජ්‍ය සේවකයන් සඳහා අවසන් වරට වැටුප් වැඩි කිරීමක් ලබාදී ඇතත් ඉන්පසු වසර 7 ක් ගතවන තෙක් කිසිදු රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදුව නැති බවත්, මෙම ඉල්ලීමට අමතරව 2016 දී අත්සන් කළ පූර්ණ විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත ආරම්භ කරන ලෙස රජයට බල කිරීමද මෙම විරෝධතාවේ අරමුණ වූ බවද හෙතෙම පැවසීය.
සංවර්ධන නිලධාරි, කළමනාකරණ සේවා නිලධාරි, ග්‍රාම නිලධාරි, සමෘද්ධි කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා, රාජ්‍ය ඖෂධ සංස්ථා, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සේවා ගණනාවක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.
නොවැම්බර් 13 වන දින අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර රජයේ සේවකයන්ට රු. 20,000 ක අවම දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් ඉදිරි වෘත්තිය පියවරයන් ගැනීමට තම වෘත්තීය එකමුතුව තීරණය කර ඇති බවද එම එකමුතුවේ ප්‍රධාන ලේකම්, කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.
අද රජයේ සේවකයා කබලෙන් ලිපට වැටී ඇති බවත්. විදුලි බිල 18% කින් වැඩිකර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරමින් ජනතාවට විදුලි සර වැද්දවීමට බවද සඳහන් කළ ඒ මහතා වසර ගණනකින් වැටුප් වැඩි නොකළොත් භාණ්ඩවල මිල සියයට තුන්සිය ගුණයකින් ඉහළ දැමීමට රජය ක්‍රියාකර ඇතැයි ද චෝදනා කර සිටියේය.
රාජ්‍ය සේවය බරපතළ අර්බුදයකට ලක්කර ඇත්තේ රජය විසින් බවත් බඩු මිල තුන් හාරසිය ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් බස් ගාස්තු, විදුලි බිල්, ජල බිල් ගෙවීමට ජනතාවට නොහැකිවී ඇති බවත්, අයවැයෙන් රුපියල් 20,000 ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් රජය පැහැදිලි ලෙසම ලබාදිය යුතු බවත් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සභාපති උදේනි දිසානායක මහතා ඊයේ (30 දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
මේ අතර මෙම විරෝධතාවයට සහාය පළ කරමින් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සේවකයන් අතිකාල සේවයෙන් ඉවත්ව සිටි අතර ඒ අනුව ඊයේ (30 දා) සවස 5.00 න් පසු රාජ්‍ය ඔසු සල්වල සේවකයන් අතිකාල සේවාවන්වලින් ඉවත්වූ බව දක්වමින් එම ආයතනවල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.
මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයද මෙම විරෝධතාවට එක්ව සිටි අතර ඉන්ධන හා යතුරුපැදි නඩත්තු දීමනා ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් එයට මුල්වූ බවත් සිය විරෝධතාව අද (30 දා) ද පැවැත්වෙන බවත් එම සංගමයේ භාණ්ඩාගාරික, රොෂාන් කුමාර මහතා සඳහන් කළේය.
පිළිකා රෝහල, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ගුවන්තොටුපළ සහ වරාය ඇතුළු අත්‍යවශ්‍ය සේවා ස්ථාන වෙත මෙම විරෝධතාව දියත් නොකළ බවද එම සේවාවන් සාමාන්‍ය පරිදි සිදුකළ බවද එම සංගමය සඳහන් කරයි.
මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඊයේ (30 දා) ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ඇති වෛi ඒකක 14 ම සෞඛ්‍ය සේවාවන් සම්පූර්ණයෙන්ම අඩාලව පැවතිණි.
දිස්ත්‍රික්කයේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්‍ෂ කාර්යාල වසා දමා තිබුණු අතර ඩෙංගු මර්දන කටයුතු ඇතුළු සියලු සෞඛ්‍ය සේවාවන්ද ඇනහිට තිබිණි.
මෙවර අයවැයෙන් සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් නොවැම්බර් මස 13 වැනිදායින් පසුව වර්ජන ක්‍රියා මාර්ගයකට පිවිසෙන බවද රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා ප්‍රකාශ කර සිටී.
සුජීව තත්සර, අහංගම -සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්, නොච්චියාගම – එම්.එම්.පී.ජී. පෙරේරා සහ මඩකලපුව සමූහ – ටී. එල්. ජවුෆර් ඛාන්, ඕපනායක-ජයලත් එම්. විමලසේන ජානක එස් බණ්ඩාර – ගුන්නෑපාන, අගුරුවාතොට – මංගල ප්‍රසන්න