ෆොන්සේකා නෙරපීම වළක්වමින් සජබට වාරණ නියෝගයක්

136

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති ධුරයෙන් කැලණිය ආසන සංවිධායක ධුරයෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (19දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.

හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගය පක්‍ෂයට බඳවා ගැනීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශයක් මුල්කරගෙන සමගි ජන බලවේගය පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව පෙන්වා දෙමින් සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ දිසා විනිසුරුවරයා ලබන මස හතර වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එම වාරණය නිකුත් කළේය.

සමගි ජන බලවේගය පක්‍ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක හා භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසකට එලෙස වාරණ නියෝග නිකුත් කෙරිණි.

ලබන මාර්තු 4 වැනිදා එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේය. නීතිඥ සංජීව කළුආරච්චි මහතා මගින් ගොනු කර තිබූ එම පැමිණිල්ලේ පෙත්සම්කාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිඥ පුලස්ති රූපසිංහ මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment