අයවැය හිඩැස පියවන්න ‘ක්‍රෙඩිට් ලයින්’ යටතේ හෝ වාහන ගෙන්වන්න – රේගුව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී කියයි

457

වාහන ආනයනය ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා හේතුවෙන් මේ වසරේ අයවැය මගින් අපේක්ෂා කරන බදු ආදායම වෙත ළඟාවීමට නොහැකි බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ශ්‍රී ලංකා රේගු නිලධාරීන් මේ බව කියා සිටියේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සම්බන්ධයෙන් රේගුවට ලබාදිය හැකි දායකත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා රේගුව කළ දැනුවත් කිරීමෙන් පසු වාහන ආනයනය සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නා බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් රේගු නිලධාරීන් යෝජනාවක් කරමින් කියා සිටියේ ණය ආධාර ක්‍රමයක් (Credit line) යටතේ වෙනත් රටක් සමග සම්බන්ධ වී වාහන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳවත්, එය මෙරට පවතින විදේශ මුදල් විදෙස්ගත නොවී රේගු ආදායම වැඩි කර ගැනීමට හොඳම ක්‍රමය බවත්ය.

රේගු යෝජනා ඉටු වූවොත් රුපියල් බිලියන 1100 ක පමණ බදු ආදායමක් මේ වසරේදී ලබා ගැනීමට හැකිවනු ඇති බව ද රේගු නිලධාරීහු මෙහිදී පැවසූහ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී ඇති බවත් වාහන ආනයනය සම්බන්ධයෙන් රජය කඩිනමින් තීරණයක් ගැනීමට කටයුතු කරන බවත්ය.

මෙහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ මේ වසරේ අයවැයෙන් ශ්‍රී ලංකා රේගුවේ ආදායම ලෙස රුපියල් බිලියන 1226ක් බලාපොරොත්තු වන බවත් මෙම මාස 5 තුළ තවමත් ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 330ක් පමණක් බවත්ය. මෙම අයවැයෙන් බලාපොරොත්තු වන ආදායමට ළඟාවීමේ ගැටලුවක් පවතින බවත් තවදුරටත් හෙතෙම කීවේය.

වාහන ආනයනය ඇතුළු ආනයන සීමා පවතින තෙක් බලාපොරොත්තු වන ආදායමට ළඟාවිය නොහැකි බවත්, මේ තත්ත්වය යටතේ මෙම වසර තුළ ලබාගත හැකි ආදායම ලෙස පුරෝකථනය කරන්නේ රුපියල් බිලියන 783 ක් බවත් නිලධාරීහු පැවසූහ. මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශයද දැනුවත් කොට ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.

එසේම රේගු ආදායමෙන් 20% ක් පමණ ලැබෙන්නේ වාහන ආනයනයේදී පනවන බදු නිසාවෙන් බවත් වාහන ආනයනය සම්බන්ධයෙන් ඇති සීමා පවතින තෙක් මෙම බලාපොරොත්තු වන ආදායමට ළඟාවිය නොහැකි බවත් ඔවුහු දත්ත සහිතව පෙන්වා දුන්හ. වසර 3 ක පමණ කාලසීමාවක සිට වාහන ආනයනය සීමා වී ඇති බැවින් රේගුවේ ආදායම අඩු වී ඇති බවත් මේ මස සිට වාහන ආනයනයට අවසර දෙන්නේ නම් ඉදිරි මාස 6 ඇතුළත රුපියල් බිලියන 150 ක් වාහන ආනයනයේදී බදු ලෙස ලබාගත හැකි බවත් ඔවුහු පෙන්වා දුන්හ.

එසේම මැණික් සහ රත්‍රන් ආනයනයේදී සහ අපනයනයේදී ලබාගන්නා බදු මුදල් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ 2012 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව කොපමණ මැණික් ප්‍රමාණයක් වුවද රේගුවෙන් නිදහස් කර ගැනීමට අයකළ හැක්කේ ඩොලර් 200 ක් පමණක් බවයි. මේ නිසා 2012 වර්ෂයට පෙර පැවති තක්සේරු මුදල මත බදු අයකර ගැනීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීහු ඉල්ලා සිටියහ.

එසේම බහාලුම් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර මෙහිදී සඳහන් වූයේ ආනයනික භාණ්ඩවලින් 60% පමණ පිටතට ගෙනයන්නේ ග්‍රීන් ඒරියා කොටසෙන් බවයි. මෙහිදී මේවා පරීක්ෂාවීමක් සිදු නොවන බවත් සීනි, පොහොර, හාල් වැනි දේ මෙසේ ගෙන්වන බවත් සඳහන් විය. නමුත් මෙහිදී මෙම භාණ්ඩ අතර සඟවමින් සිගරට්, මත්පැන් වැනි දේ ගෙන්වීම සිදුවන බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.

හේමන්ත රන්දුණු , රනිල් ධර්මසේන සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment