අයස්ථානයේ සහ වැයස්ථානයේ නවග්‍රහයන්ගේ පල

3487

ඔබේ කේන්ද්‍රයේ ප්‍රධාන ආදායම් ස්ථානය වශයෙන් සලකනුයේ එකොළොස්වැන්නයි. ඔබේ සියලු ලැබීම් පිළිබඳ ප්‍රකාශනය වන්නේ ද මෙමගිනි. සමාජ මිත්‍රත්වය, සහෝදරයන්, සහෘදයන් පිළිබඳව ද මෙම භාවයෙන් ප්‍රකාශ වේ. එසේම පොත්පත් ලිවීම මෙන්ම සමාජ සේවා කටයුතු මෙන්ම මරණය පිළිබඳව ද එකොළහට වගකීමක් ඇත. මෙම භාවයට ශරීරයේ කෙණ්ඩ සහ කන ද ඇතුළත් වේ. ගේදොර ලාභ, රන් රුවන් මැණික් ආදී වටිනා සම්පත් ලාභ ඔප්පු තිරප්පු, යාන වාහන විශාල වෙළෙඳ ගනුදෙනු, ධාන්‍ය වර්ග, එළවළු මෙන්ම මිල මුදල් ආදිය පිළිබඳව ද මෙම භාවයෙන් විමසිය හැක.

රවි

මෙම භාවයේ බලවත් වූ විට රජයෙන් වස්තු ලාභ, උසස් අය ඇසුරට ලැබීම, රජයට සම්බන්ධ කොන්ත්‍රාත් මගින් විශාල ලාභ ඉපයීමට ද අවස්ථාව හිමිවේ.

රවි දුර්වලව පිහිටි අය නඩුහබවලට පැටලී එමගින් ධනය විනාශ කරගනී. පියාගෙන් උරුම ලබාගැනීමට නඩු කියන්නට සිදුවේ. සමාජයේ උසස් අය විරුද්ධවීම නිසා විශාල අලාභයන් සිදුවේ. එසේම මෙම පිහිටීම ඇති අයට රක්තවාත රෝගය ද වැලඳේ. මෙවැන්නන් හට කකුල් හිරිවැටීම, පණනැති වීම මෙන්ම අංශබාග රෝගය ද වැලඳේ.

සඳු

සඳු බලවත් නම් මවගේ දේපළවලින් උපරිම ලාභ ප්‍රයෝජන ලැබේ. කාන්තාවන් සහභාගිත්වයෙන් කරන කටයුතු, කර්මාන්ත (ඇඟලුම් වැනි) උපරිම සාර්ථකත්වයක් ඇතිවේ. ස්ත්‍රී සැප සහිත විශාල මන්දිර වැනි ගෙවල් ලැබේ. යාන වාහන ආදී දේද පහසුවෙන් හිමිවේ.

දුර්වලව සඳු තැන්පත්වූ විට ඔහුට ඇත්තේ චංචල සිතකි. මව රෝගී වේ. ඒ සඳහා අධිකව වියදම් කරන්නට සිදුවේ. එසේම මවගේ උරුමය ලබාගැනීමට නඩු කියන්නට සිදුවේ. ස්ත්‍රීන් සතුරු වේ. ඔවුන් විසින් අපහාස අවනම්බු මෙන්ම අස්ථාන චෝදනාවන්ට ද හසුකිරීමට කටයුතු කරයි.

කුජ

බලවත් නම් වැඩිමහල් සහෝදරයන්ගෙන් ඵල ප්‍රයෝජන ලැබේ. එසේම වෛද්‍ය අධ්‍යාපනය සඳහා යෝග්‍ය පිහිටීමකි. ව්‍යාපාර වශයෙන් ඖෂධ වෙළෙඳාම සාර්ථක වේ. තැපැල් ස්ථානාධිපති, ලිපි ගනුදෙනු කරන රැකියා ගැළපේ. මෙවැන්නන්ට භූමි ලාභ ද උරුම වේ.

කුජ දුර්වලව එකොළොස්වැන්නේ පිහිටි විට වැඩිමහල් සහෝදරයන්ට අපල කරමින් විපතට පත් කරයි. එසේම ඉඩකඩම් අනුන් සතු වේ. ධන හානි වේ. අනුන් සතු භූමිවල හා නිවෙස්වල වාසය කිරීමට සිදුවේ.

බුධ

බුධ බලවත්වූ විට නැදිමයිලන්ගේ දේපළ ලැබීම මෙන්ම ඇවැස්ස නෑනලා සමග ප්‍රේම සබඳතා ඇතිවේ. ඔවුන්ගෙන් ආධාර උපකාර ලැබේ. පොත්පත් ලිපි ද්‍රව්‍ය ආශ්‍රයෙන් මෙන්ම ශාස්ත්‍ර ශාලා හේතුකොටගෙන ධනය ලැබේ. ශාස්ත්‍ර ශාලා පිහිටි ඉඩම් ලැබෙයි.

බුධ දුර්වල වූ විට නැදිමයිලන් නොසලකයි. ඔවුන්ගේ දේපළ පිළිබඳ වියවුල් ඇතිවේ. අලාභ හානි ඇති වේ. උගතුන් අලාභ හානි ඇති කරයි.

ගුරු

මෙම භාවයේ ගුරු ශක්තිමත්ව පිහිටි විට ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට යොමුවෙයි. අධ්‍යාපනය ඇසුරෙන් ලාභ ප්‍රයෝජන ලබයි. වෙළෙඳ කටයුතු හා ඉඩකඩම් ඇසුරෙන් ද ප්‍රයෝජන ලැබෙයි. පුත්‍ර ලාභය මෙන්ම ස්ත්‍රීන්ගෙන් ලාභ ලැබීම ද සිදුවේ.

ගුරු දුර්වල වූ විට නියමාකාර අධ්‍යාපනයක් ලැබීමට නොලැබේ. ලැබෙන ධනය විනාශ වේ. කරන කරන වෙළෙඳ කටයුතුවලින් පාඩු සිදුවේ. ස්ත්‍රීන්ගෙන් දොස් අසන්නට සිදුවේ. ස්ත්‍රී වියවුල් ඇතිවේ. පුත්‍රයන්ට ද මාරක වෙයි. ඔහුගේ කතාව ද අන් අයට රුචි නොවේ. හිස් බස් කියන්නෙක් ලෙස ප්‍රකට වෙයි.

සිකුරු

සිකුරු බලවත් වූ විට අලංකාර ගෘහ භාණ්ඩවලින් පිරුණු ලස්සන ගෙවල් ලැබෙයි. කාන්තා පක්ෂයෙන් මෙන්ම දූදරුවන්ගෙන් ද ලාභ ලබයි. ලස්සන දූවරුන් ලැබේ. ශරීරය සන්තර්පණය කිරීමට අවශ්‍ය වන යාන වාහන ඇතුළු සියලු සම්පත් ලැබේ.

සිකුරු දුර්වල වූ විට ස්ත්‍රී වියවුල් ඇතිවේ. කපටි ගැහැනුන්ගේ ගැටවලට හසුවේ. අලාභ හා පාඩු සිදුවේ. දරුවන්ට ද අපලයි. පහත් පෙළේ නැටුම් ගැයුම් වැයුම්, සල්ලාල ක්‍රියා හේතු කොටගෙන තැන්පත් ධනය විනාශ වෙයි.

ශනි

ඔබේ ජන්ම පත්‍රයේ එකොළොස්වැන්නේ ශනි බලවත් නම් ඔබ විශාල ධනයකට හිමිකම් කියන්නෙකි. ඉඩම් හිමි වැවිලිකරුවකු වේ. රථ වාහන ද හිමිවේ. කැලෑබද ප්‍රදේශවල ඉඩම් හිමිකරුවකු වේ. මෙහෙකරුවන්ගෙන් ලාභ ලැබේ. ලෝහ ආදිය ලබයි. වතුපිටිවලින් හොඳ ආදායමක් ලබන අතර, ජීවත්වීමට අවශ්‍ය වී, කොස්, පොල් වැනි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත්ව ලැබෙන, ගොඩ හා මඩ ඉඩම් හිමිවේ.

දුර්වල ශනි පිහිටි විට ඔහුට හිමි වන්නේ සොරකම් කරන මෙහෙකරුවන්ය. ඔවුන්ගෙන් ආර්ථිකයට විශාල අවහිරකම් සිදුවේ. නොණ්ඩි වීමක් හෝ කොරවීමක් ඇතිවිය හැකි ය. මෙවැන්නන්ගේ මුවින් නිතරම පිටවන්නේ අනේ මට බෑ වැනි බයාදු වදන්ය. නිතරම නෑ බෑ වැනි ඍණ ආකල්ප ඇති මොවුන්ගේ දියුණුවක් දැකිය නොහැක. මෙවැන්නන්ට කිලිටි වැරහැලි ඇඳීමට ද සිදුවේ. ඔහුට එය අවනම්බුවක් ලෙස නොපෙනේ.

රාහු

රාහු එකොළොස්වැන්නේ ඇත්නම් සනිගේ පිහිටීම ඇසුරින් ද

කේතු

කේතු 12 වැන්නේ නම් කුජට සමානව ද ප්‍රතිඵල ප්‍රකාශ වේ.

වැයස්ථාන

ශරීරයේ අඩිය යටිපතුල්, පාදවල ඇඟිලි හා වම් ඇස ගැන මෙමගින් නිවේදනය වේ. වියදම්, ඇවිදීම, පිට පළාත්වල සංචාරය, වියෝග වීම, බන්ධනාගාරගත වීම, විවාහය පිළිබඳ සමහර කරුණු, නිදන කාමරය, රහස් සතුරෝ, අවුල් වියවුල් ගෙනදෙන බව, ණය ගනුදෙනු, කෘෂිකර්ම යනාදිය ගැන කරුණු මෙම භාවයෙන් විනිශ්චය කළ හැක. අපායට යන නොයන මාවත ද පෙන්වන්නේ මෙම ස්ථානයෙනි.

රවි

රවි බලවත් කල රාජ්‍ය සේවය පිණිස ගමන් බිමන් ඇතිවේ. උසස් නිලධාරීන්ගේ අණ පනත් ගෙනයෑම වැනි රැකියා යෙදේ.

රවි දුර්වල නම් වම් ඇසේ රෝග, රජයෙන් පීඩා ලැබීම, නඩු හබ හේතු කරගෙන වියහියදම් ඇතිවෙයි. පිටිපතුල් හා යටිපතුල් ඉදිමේ. යටි පතුල්වලින් උෂ්ණය පිටවීම නිසා ඔහුට ඇත්තේ පැළුණු අප්‍රසන්න යටිපතුලකි.

සඳු

සඳු දොළොස්වැන්නේ ශක්තිමත්ව පිහිටා ඇත්නම් ජල යාත්‍රාදියෙන් ගමන් යන්නකු හෝ එවැනි යාත්‍රාවල ක්‍රියාකරුවකු වීම සිදුවේ. මෙවැනි කටයුතු සඳහා ගමන් බිමන්වල යෙදෙන්නෙකි. මෙවැන්නන් නිවසේ අලංකාරය සඳහා නිතරම නිවාස අලුත්වැඩියා කිරීම නිසා, ඒ වෙනුවෙන් බහුලව වියදම් යෙදේ. මොහුට ලස්සන ඇස් දෙකක් පිහිටා ඇත. ජල බෝතල්, වෙනත් දියර වර්ග විකිණීමෙන් සමෘද්ධිමත් ව්‍යාපාරිකයකු බවට පත්වේ. දොළොස්වැන්නේ සඳු දුබල වූ විට මව වෙනුවෙන් ශෝක වන්නට සිදුවේ. මවට අනතුරු විපත් ඇතිවෙයි. එසේම ඇස් රෝගයන්ට ද භාජනය වේ. වියවුල්, දික්කසාද, නඩු ආදියට මුහුණ දීමට සිදුවේ. මෙවැන්නන්ට ජලයෙන් විපත් ඇති අතර, සුනාමි වැනි ජල විපත් ද හදිසියේ නොසිතූ මොහොතක මාර්ගයේදී ජල පහරක් මගින් විපත් වනු ඇත.

කුජ

දොළොස්වැන්නේ කුජ බලවත් වූ විට කෘෂිකර්මාන්තය ඇසුරින් අධික ලාභ ලබයි. එසේම අනුන්ගේ ඉඩම් කොල්ලකා ගන්නකු වශයෙන් ද ප්‍රකට වේ. එවැනි අයුතු ක්‍රියා මගින් ලාභ ලබයි.

දුර්වල කුජ මේ භාවයේ පිහිටි විට වම් ඇසේ රෝග, වපර ගතියක් ඇතිවීම, කකුල්වලට ආයුධ වලින් විපත් පැමිණීම, ස්ත්‍රී වියෝගය විඳින්නට සිදුවීම, නිතර අසුභ ආරංචි කනවැකීමෙන් කලබලයට පත්වන්නකු වීම, මෙහෙකරුවන්ගෙන් පාඩු සිදුවීම හා මෙහෙකරුවන් ඔහුගේ දේපළ සොරකම් කිරීම සිදුවේ. මෙවැන්නන් අපායට යන මාර්ගය ද මැනවින් සකසා ගනී.

බුධ

මෙම භාවයේ බුධ බලවත් නම් ඔහු ශාස්ත්‍රවන්තයෙකි. ඔහු දේශන සඳහා ප්‍රදේශයෙන් ප්‍රදේශයට යන්නෙකි. ඉගෙන ගන්නා දරුවන්ට ඉගෙනීම වෙනුවෙන් වියදම් කරන්නෙකි. මෙැවන්නන්ගේ සතුරන් දමනය වේ. ඥාතීන්ගේ ඇප උපකාර ලැබේ. සම්පත් ලාභියකු වන මොහු, නිරෝගී ශරීරයකින් හෙබි ප්‍රඥාවන්තයෙකි.

දොළොස්වැන්නේ බුධ දුර්වලව පිහිටා ඇත්නම් ඔහුගේ අධ්‍යාපනය බිඳවැටේ. මාමලාගේ දේපළ පිළිබඳ වියවුල්, නඩු හබ ඇතිවේ. විශාල වශයෙන් ධන හානි වේ. එසේම මෙවැන්නන් බොරුවෙන් ප්‍රයෝගයෙන් ධනය උපයා ගන්නෙක් වේ.

ගුරු

දොළොස්වැන්නේ ගුරු බලවත්ව පිහිටි විට, හිටිහැටියේ ධන ලාභ ලැබේ. ලොතරැයි දිනුම්වලට උරුමය තිබේ. ස්ත්‍රී පක්ෂය සමග සබඳතා අධික වන අතර ඔවුන් හා ප්‍රේම සබඳතා වලට ද පත්වේ. ස්ත්‍රී පක්ෂයෙන් ලාභ උපකාර ලැබේ. මෙවැන්නන්ට කාන්තාවන්ගේ දැඩි ළැදියාවක් ඇත. පුත්‍ර ලාභ ඇති අතර ශාස්ත්‍රීය ලාභ ද ලබයි.

දුර්වල ගුරු දෙළොස්වැන්නේ යෙදීමෙන් ස්ත්‍රී හා පුත්‍ර හානිය ඇතිවේ. ව්‍යාපාරිකයකු නම් ගනුදෙනුවලදී ප්‍රශ්න ඇතිවේ. අනුන්ගේ රැවටිලි ප්‍රයෝගවලට හසුවේ. පාප මිතුරන් ආශ්‍රයට වැටේ. බේබදු බවට පත්වීම නිසා, තමා සන්තක දේ අනුන්ට අත්වේ.

සිකුරු

මෙම භාවයේ සිකුරු බලවත් වූ විට වස්තු ලාභ හිමිවේ. අනුන්ගේ දේපළක් ඔහු සතු වනු ඇත. ගේ දොර ලාභ හිමිවේ. ත්‍යාගවන්ත වෙයි. උපන් ගමෙන් පිට කරන ක්‍රියාවලින් අසීමිත ලාභ ලබයි. ලස්සන කාන්තාවන්ගේ පහස ලබයි. සිකුරු දුර්වලව දොළොස්වැන්නේ තැන්පත් වූ විට වම් ඇසේ හා කකුල්වල ආබාධ ඇතිවේ. ශෝක, වියවුල් හා මවට විපත් ඇතිවේ. නිකරුණේ ඇවිදියි. නැටුම්, ගැයුම්, වැයුම් බැලීමට යෑමෙන් හා ගණිකා සේවනය හේතු කරගෙන ධනය විනාශ කර ගනී. මෙම පිහිටීම ඇති අයගේ ගුණධර්ම නැති අතර වෛරය ඇත. මෙවැන්නන්ට කීර්ති ප්‍රශංසා නොලැබේ.

ශනි

දොළොස්වැන්නේ ශනි බලවත් වූ පුද්ගලයා කැලෑවෙන් ජීවිකාව ගත කරන අයෙකි. ඉනිපෙත්ත, බට, වේවැල් කැලෑවෙන් සොයා පෙට්ටි නිපදවන්නන් පිට පළාත් ඇසුරු කරමින් එම වෙළෙඳාම කරමින් මිල මුදල් මෙන්ම ධාන්‍ය වර්ග ද ලබා ගනියි. විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ මෙම ග්‍රහ පිහිටීම ඇති අය හස්ත කර්මාන්ත මාර්ගයෙන් ධනය උපයන බවයි. මෙවැන්නන්ට කෘෂිකර්මාන්තය ද යෝග්‍ය වේ.

දොළොස්වැන්නේ ශනි පීඩාවට පත්වූ විට කකුල්වල තුවාල ඇතිවේ. ඇස් රෝග සෑදේ. පියාට විපත් ඇතිවේ. මෙවැනි පුද්ගලයන් බන්ධනාගාරගත වීමට ද අවස්ථාව ඇත. ගමන් බිමන්වලදී පීඩාවට ලක්වේ. ලැජ්ජා බය නැති අයෙකි. ඇස් පෙනීම අඩු කෙනෙකි. පිටරට වාසයට හිමිකම ඇත. ගේ දොර අලංකරණය පිළිබඳ මෙන්ම ගේ දොර පිළිබඳව ද ආසාවක් නැත. නිරන්තර ශාරීරික පීඩාවන්ට ලක්වේ. කලකෝලාහලයන්ට ප්‍රිය වේ.

රාහු

දොළොස්වැන්නේ නම්, ශනි දොළොස්වැන්නේ පිහිටි අයුරින් ප්‍රතිඵල ලැබේ.

කේතු

මෙම භාවයේ කේතු පිහිටා ඇති නම් කුජ දොළොස්වැන්නේ පිහිටි අයුරින් ප්‍රතිඵල ලැබේ.

අයස්ථානයේ සහ වැයස්ථානයේ නවග්‍රහයන්ගේ පල

ජ්‍යොතිෂවේදී,
එස්.ඩී.ජේ. පතිරණගේ
තිසර ජ්‍යොතිෂ සේවය. ලේනමඩුව -කඹුරුපිටිය. දුරකතන අංකය 0714396119


advertistmentadvertistment