අයහපත් කාලගුණයෙන් 34263 දෙනෙක් තවමත් පීඩාවේ

15

රත්නපුරේ කොට්ඨාස රැසක් නායයෑමේ දැඩි අවදානමක
බලාගාර ආශ්‍රිත ජලධාරිතාව 53% දක්වා ඉහළට
අදත් වැසි සුළං මුහුදු යන්න එපා

දිස්ත්‍රික්ක 20කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 265කට අයත් පවුල් 9152ක පුද්ගලයන් 34,263 දෙනකු ඊයේ (29 දා) වනවිට පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදාවන් නිසා වූ මරණ 08ක්, තුවාල සිදුවීම් 21ක් වාර්තා වී ඇත. පීඩාවට පත් පවුල් 60කට අයත් පුද්ගලයන් 226 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 10ක රැඳවීමටත්, පවුල් 154ක පුද්ගලයන් 557 දෙනෙකු ඥාති නිවාසවල සිටින බවත් එම මධ්‍යස්ථානය පවසයි. නිවාස පූර්ණ හානි 27ක් හා නිවාස අර්ධ හානි 4715ක් වාර්තා වී ඇත.

කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර එයින් රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඇලපාත, කලවාන, කුරුවිට, රත්නපුර, ඇහැලියගොඩ, අයගම, ඉඹුල්පේ සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානම් මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.

කැළණි, කළු, ගිං යන ගංඟා සහ දැදුරු, අත්තනගලු ඔයෙත් ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවත් තවදුරටත් එම ගංගා සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාව පතිත වුවහොත් ඒවා පිටාර ගැලීමේ අවදානමක් පවතින නිසා ඒවා ආශ්‍රිත පහත්බිම්වල ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.ඩී. සුගීෂ්වර මහතා කියයි. විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව සියයට 52-53 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු කීය.

දිවයිනට මේ වනවිට නිරිත දිග මෝසම් තත්ත්වය බලපා ඇති නිසා දැනට පවතින වැසි හා සුළං තත්ත්වය තවදුටත් බලාපොරොත්තු වන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ට වැඩි තරමක වැසි පතිතවීමේ හැකියාව අද පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර – උතුරු මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50-60 පමණ තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තවදුරටත් ඉතා රළු වන බැවින් නැවත දැනුම් දෙන තුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 – 3.5 පමණ ඉහළයෑමේ හැකියාවක් පවතින බැවින් එම ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතින බව ද එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment