අර්චුනාගේ පහරදීමකින් අයෙක් රෝහලේ – යාපනයේ හෝටලයක ගුටිකෙළියක්

99

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී පෙරේදා (11දා) රාත්‍රියේ සිදුකළ බව කියන පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයකු යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර මෙම හෝටලයේදී තමන්ට පුද්ගලයකු පහර දුන් බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පෙරේදා රාත්‍රි 11.00ට පමණ යාපනය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

යාපනය පොලිසියෙන් ‘දිවයින’ කළ විමසීමකදී එහි උසස් නිලධාරියකු කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සහ වෙනත් පාර්ශ්වයක පිරිසක් අතර හේටලයකදී ගැටුමක් සිදුවී ඇති බව විමර්ශනවලින් හෙළි වූ බවයි. මේ සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවද මන්ත්‍රීවරයාගේ පහරකෑමට ලක් වූ පුද්ගලයා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය පවසයි.

පොලිසිය පවසන අන්දමට පෙරේදා රාත්‍රී අර්චුනා මන්ත්‍රීවරයා යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයක රාත්‍රී ආහාර ගැනීමට ගිය අවස්ථාවේ එහි පැමිණි සිටි වෙනත් පාර්ශ්වයක් සමග ආරවුලක් ඇතිකර ගෙන තිබේ.

මන්ත්‍රීවරයා සිය ජංගම දුරකථනයෙන් එම පිරිස වීඩියෝ කිරීමට යෑමේදී ඔවුන් මන්ත්‍රීවරයාට විරෝධය පළ කර ඇති අතර පසුව දෙපාර්ශ්වය අතර ගුටි බැට හුවමාරුවක් ද සිදු වී ඇතැයි පැවසේ.

පහර කෑමට ලක්ව තුවාල ලබා රෝහල්ගතව සිටින පුද්ගලයා ස්විට්සර්ලන්තයේ සිට පැමිණි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකු බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය කියා සිටියි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන


advertistmentadvertistment