අලුත් වන ලාල්කාන්ත සහ පරණ වන අලුත්ගේ

1295

අද දින (15) සිදුකරන වැඩ වර්ජනයට සම්පූර්ණ සහයෝගය ලබාදෙන නමුත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමට මේ මොහොතේදී තම පක්ෂය සූදානම් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කර තිබේ. 15 දා සිට මේ රට සම්පූර්ණයෙන්ම වසා දමන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් දොස්තර හරිත අලුත්ගේ පවසා ඇත. අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බවට තර්ජනය කිරීමෙන් හරිත අලුත්ගේ මේ සූදානම් වන්නේ අනුරුද්ධ පාදෙනියගේ චරිතය රඟපෑමටය. එහෙත් මේ චරිතය රඟපෑමට ගොස් සිදුවිය හැකි ඇබැද්දිය හරිත අලුත්ගේ නොදන්නවාට ලාල් කාන්ත දනී. රටේ තිබෙන රෝහල්වල දොස්තරලා වැඩ වැරූ විට රෝගීන්ට බෙහෙත් ගැනීමට ක්‍රමයක් නැත. මෙවිට ප්‍රකෝප වන රෝගී ජනයා මෙන්ම ඔවුන්ගේ භාරකරුවෝද ඉස්පිරිතාලවලට පහර දීමට ඉඩ තිබේ. වෛද්‍ය වර්ජනයෙන් පළමුවන ලෙඩා මිය යෑමත් සමගම මේ ගුටි කෙළිය ඇරඹෙනවා ඇත. එතැන් පටන් මිනිසුන් වැඩ වර්ජකයන් කෙරෙහි වෛරී ඇසකින් බලනවා ඇත. අනුරුද්ධ පාදෙණිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැසිරවූ කාලයේදී කට මෙන්ම මොළය ද පාවිච්චි කළේය. මොළය තිබෙන්නේ කටට උඩිනි. එවිට බුද්ධිය ස්නායු දිගේ ඉතාම පහසුවෙන් කට වෙත ළඟා වෙයි. එහෙත් මොළයට උඩින් කට තිබුණොත් එය සෑහෙන ප්‍රශ්නයක් බවට පත්වේ. උඩ සිට පහළට වන ගමනාගමනය ලෙහෙසි වුණාට පහළ සිට උඩට යන ගමනාගමනය ලෙහෙසි නැත. මේ නිසා පාදෙණිය කළ හැමදේම හරිත අලුත්ගේට කළ නොහැක.

මේ පුවත්පත වැඩ වර්ජන සමග එකඟය. වැඩ වර්ජනයක් සිදුවන්නේ කිසියම් සේවක ප්‍රජාවකගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය වූ විටය. ඒ බව අපි පිළිගනිමු. එහෙත් රෝගීන්ට මරු කැඳවන වෛද්‍ය වැඩ වර්ජන, ජනතාවගේ එදා වේල නවතන ප්‍රවාහන වැඩ වර්ජන, ජනතාව අඳුරේ තබන විදුලි බල වැඩ වර්ජන යනාදියට මේ පුවත්පත එකඟ නැත. අප වැඩ වර්ජන දෙස බලන්නේ මානුෂික තලයක සිටය. වර්ජකයා අමනුෂ්‍යයෙක් නම් ඒකා කෙරෙහි සාමාන්‍ය ජනතාව තුළ හටගන්නේ වෛරයකි. පාසල් දරුවන් ප්‍රවාහනය කරන පෞද්ගලික වෑන් රථ හිමියන්ගේ සංගමය ද අඛණ්ඩ වැඩ වර්ජනවලට සහභාගි නොවන බවට ප්‍රකාශයක් කර තිබේ. මේ දිනවල රජයේ විභාග පැවැත්වෙන බැවින් එවැනි පියවරකට තල්ලු නොවන බව එම සංගමය කියා ඇත. වැඩ වර්ජකයන් සහ රටේ ජනතාව අතර ගැටුමක් ඇති වුණොත් වර්ජනය පිළිබඳ ඕනෑවටත් වඩා හයියෙන් කතා කරන හරිත අලුත්ගේ නන්නත්තාර වන බව අපි දනිමු. ඒ අතර මිනිසුන් වැඩ වර්ජන සඳහා පොළඹවන්නේ නැති තත්ත්වයක් ඇති කරන ලෙස ද අපි රජයෙන් ඉල්ලා සිටිමු. මේක මළම කරදරයකි. හැමදාම උදේට වැඩ වර්ජනය කරන බව කියමින් මොකෙක් හෝ එකෙක් මේ රටේ ජනතාවට තර්ජනය කරයි. මේ රටේ දේශපාලනඥයන්ට වැඩ වර්ජන තිබුණත් නැතත් එකය. ඔවුන්ට යෑමට සහ ඒමට වාහන තිබේ. බෙහෙත් ගැනීම සඳහා පෞද්ගලික රෝහල් තිබේ. ඒවාට යන වියදම ඉන්ෂුවරන්ස් එකෙන් කවර් කරනු ලැබේ. විදුලි කප්පාදුව කළත් ඔවුන්ගේ ගෙවල්වල ජෙනරේටර් ඇත. ඒ නිසා අද පැවැත්වෙන වර්ජනය අඛණ්ඩ වර්ජනයක් බවට පත්වුණොත් මේ රටේ ජනයා අප කවදාවත් නොසිතන ආකාරයේ පියවරක් ගැනීමට ඉඩ තිබේ. කොරෝනාවෙන් සහ ආර්ථිකයෙන් ගුටි කා සිටින මේ රටේ අසරණ ජනයාට මේ මොහොතේදී උන්නා – මළා පෙනෙන්නේ නැත. ඒ නිසා පාදෙණිය මෙන් වැඩ කිරීමට යෑමෙන් රටත් අල කර තමනුත් අල වීමෙන් වැළකී සිටීම හරිත අලුත්ගේ කළ යුතුය.

දැන් අපි වර්ජන කතාව අත්හැර වෙනත් කාරණා දෙකක් ගැන සාකච්ඡා කරමු. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී එයට නායකත්වය දීමට තමන් සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති. ඔච්චර තමයි අපට තිබෙන එකම අඩුපාඩුව. මෙයට කලකට පෙර භික්ෂුන් වහන්සේලා පිරිසක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන කිහිපයක බලය අල්ලා ගත්හ. අන්තිමේදී දේශපාලනය යනු භික්ෂුන්ට නොගැළපෙන ජරා වැසිකිළි වළක් බව තේරුම්ගත් උන්වහන්සේලාගෙන් එක් භික්ෂුවක හැර සෙසු භික්ෂූහු දේශපාලනය අත්හැර ආපසු පන්සල් බලා ගියහ. එහෙත් අතුරලියේ රතන හිමි පමණක් දේශපාලනය අත්හැර නැත. එයට හේතුව මේ ජරා වළේ ස්වභාවය උන්වහන්සේට තවමත් නොතේරීමය. මිහින්තලේ නායක හාමුදුරුවන්ගේ කැමැත්ත වන්නේ රටේ ජනාධිපති වීමටද, අගමැතිවීමට ද ප්‍රාදේශීය සභාවේ සභාපති වීමට ද, පළාත් සභාවේ මහ ඇමැති වීමට ද නොඑසේ නම් සමුපකාර ඡන්දයකින් දිනා එම සමුපකාරයේ සභාපති වීමට ද යන්න අප නොදනිමු. අපගේ අදහස නම් භික්ෂුන් වහන්සේලා දේශපාලනයේ හතර මායිමකට නොපැමිණි යුතු බවය.

අද අප සාකච්ඡා කරන අවසන් කතාව මෙසේය. කිලිනොච්චියේ සාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ එකොලොස් වන වසරේ සිසුවියන් හට පෙරේදා පැවති විභාගයේදී ප්‍රශ්න පත්තරවලට උත්තර ලියන්නට සිදුවුණේ එළිමහනේ සිටය. පාසලේ විදුහල්පති සහ ගුරු මණ්ඩලය අතර හටගත් මතගැටුමක් නිසා පාසල් වත්තේ පරතරයක් සහිතව එක පෙළට තබන ලද ඩෙස්වල සිට පට්ට අව්වේ මේ දැරියෝ විභාගයට පෙනී සිටියහ. මේ දිනවල කිලිනොච්චියට අම්බානක පායයි. ඒ නිසා ඇතැම් සිසුවියන් විභාගයට උත්තර ලිව්වේ කුඩ ඉහලාගෙනය. තවත් සමහරු හෙල්මට් දමාගෙන ප්‍රශ්න පත්තරවලට පිළිතුරු ලිවූහ. මේ මෘග තත්ත්වයට හේතුව පාසලේ විදුහල්පතිතුමාගේ දුෂ්ට වැඩපිළිවෙළ බව මාපියෝ චෝදනා කරති. කෙසේ වුවද මෙයට වගකිව යුතු අය ගැන දිගක් පළලක් අපි නොදකිමු. එසේම මෙවැනි තත්ත්වයකට නව යොවුන් සිසු දැරියන් පත්කළ විත්තිකාරයන් සොයා ඔවුන්ගේ වැඩ තහනම් කර විනය පරීක්ෂණ පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment