ආර්ථිකය හැකිලිලා ජනතාව විඳවනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

39

සියල්ලට විපක්‍ෂ නායක වගකිව යුතුයි

එදා අගමැතිකම ගත්තා නම් මේ ප්‍රශ්න මුකුත් නෑ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ආර්ථිකය මේ වන විට සාමාන්‍යකරණය වී ඇති බවට ජනාධිපති ප්‍රකාශ කළත් ජනතාවට දරාගත නොහැකි අසීමිත බරක් පවතින්නේ යැයි ද සමාජයේ ඇතැම් කොටස් කරදර විඳින්නේ යැයි ද කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශයට ප්‍රති උත්තර සැපයීමට කතාවක් කිරීමට යෑමෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

ජනාධිපතිවරයා ඊයේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසුව ඒ ගැන පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටි අතර ඊට ඉඩ දුන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දීර්ඝ කතාවක් සිදු කරමින් සිටියේය. ඒ බව දුටු ජනාධිපතිවරයා සිය අසුනින් නැගිට යන්නට සූදානම් විය. ඉන් පසුව සභාව තුළ ඉහත තත්ත්වය ඇති විය. එහිදී මෙවන් විවාදයක් ඇති විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා –

ජනාධිපතිතුමා පසුගිය කාලයේදී වගේම අද දවසේත් මේ සභාවට තොරතුරු ලබා දුන්නා. එතුමා කිව්වා සමහරු අභියෝග භාර නොගත් නිසා එතුමා කොන්දේසි රහිතව මේ රට භාරගත්තා කියලා. මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි එතුමා කෙසේ සඳහන් කළත් අද රට තුළ නිර්මාණය වෙලා තියෙන්නෙ නව සාමාන්‍ය තත්ත්වයක්. ඒ තුළ ආර්ථිකය වර්ධනය වෙනවා වෙනුවට රටේ ආර්ථිකය කුඩා වෙලා තියෙනවා. ජනතාවගේ ජීවිතය හැකිලිලා. ජනතාව වෙත අසීමිත පීඩනයක් පැටවිලා. දුප්පත්කම, විරැකියාව, ගෑස් හා විදුලිබිල වැඩිවෙලා. ව්‍යාපාර කඩාවැටිලා. මන්දපෝෂණය වර්ධනය වෙලා. රටේ බහුවිධ අවදානම් තත්ත්වයක් ඇති වෙලා තිබෙන බවට ජාත්‍යන්තර සංවිධාන පවා වාර්තා ලබාදී තිබෙනවා. අස්වැසුම සුබසාධන වැඩසටහන සාධනීය වැඩසටහනක් නෙවෙයි. එහි ආර්ථික සංවර්ධනය ගැන දැක්මක් නැහැ. කිසියම් කාලසීමාවකට මුදල් ලබාදීමක් සිදුවෙනවා. ඒක වැරදියි කියලා අපි කියන්නේ නැහැ. ජනාධිපතිතුමා තනතුරට පත්වූ මොහොතේම රටේ ජන සංගණනය කරන්න තිබුණා. ඒ තුළින් ගෘහයක ආදායම ගැන අවබෝධයක් ලබාගන්න තිබුණා. ඒ අවබෝධයෙන් මේ සුබසාධන වැඩ ටික කරන්න තිබුණා. අද මේ මොහොත වන විට තත්ත්වය මොකද්ද. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අලස විදියට ක්‍රියාත්මක වෙනවා.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග මහතා –

මේක විවාදයකට යනවා. එහෙම නම් අපි ජනාධිපතිතුමාගේ කතාව ගැන විවාදයක් ගනිමු. අපි විරුද්ධ නැහැ. නමුත් ඔබතුමන්ලා අවස්ථාව ඉල්ලුවේ කරුණු පැහැදිලි කර ගැනීමක් කරන්න. මේ විදියට ගියොත් අපිට න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරගන්න බැරිව යනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා –

මේ කාරණාව ගැන විවාදයක් තිබුණොත් හොඳයි. මොකද මේ සභාවේ විවිධ මත තියෙන නිසා. ඒ වගේම මේ සියල්ලටම විපක්ෂ නායකතුමා වග කියන්න ඕන. එතුමා අගමැතිකම ගත්ත නම් මේ මොකුත් වෙන්නේ නෑ. මම මට පුළුවන් විදියට වැඩේ කළා. (සභාවේ සිනා)

(ජනාධිපති සභාවෙන් නික්ම යයි.)

කථානායක- තවත් කාලය කා දමන්න එපා.

සජිත් ප්‍රේමදාස මහතා – ඇයි අපිට භාෂණයේ නිදහසක් නැද්ද?, අපිට කතා කරන්න බැරි ද? ඔබතුමා පක්ෂග්‍රාහී වෙන්න එපා. මට කරුණු කාරණා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. මගේ කට වහන්න එපා. ජනාධිපතිතුමා නැගිට යෑම නිවටකමක්.

කථානායක – ඔබතුමා අවස්ථාව ඉල්ලුවේ කරුණු පැහැදිලි කර ගන්න. කතා කරන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා.

(සභාවේ කෑ ගැසීම්)

මනූෂ නානායක්කාර මහතා – ජනාධිපතිතුමා කතාවක් කළා. ඒ ගැන පැහැදිලි කිරීම කෙලින්ම ඇහැව්ව නම් හරි. කරුණු පැහැදිලි කරන්න කියලා පැය භාගයකට වඩා කතා කරනවා. මෙතුමා ජනාධිපති කවුද? විපක්ෂනායක කවුද? කියන්න දන්නෙ නැහැ.

ප්‍රසන්න රණතුංග මහතා – මේක පැහැදිලි කර ගැනීමක් නෙමෙයි. කතාවක්. ජනාධිපතිතුමා සභාවෙන් පිටව යනකොට විපක්ෂනායකතුමා අහනවා බයේද යන්නේ කියලා. අනුර කුමාර දිසානායක මහත්තයාත් ඕකම විපක්ෂ නායකතුමාගෙන් ඇහැව්වා විවාදයකට ආරාධනා කරපු වෙලාවේ. ඒගොල්ලන්ගේ විවාද ගියාට කමක් නෑ. මේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න අවස්ථාව දෙන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment