ආර්ථික හා දේශපාලන අරාජිකත්වයෙන් රට ගලවන්නට තෙවැදෑරුම් ගොවිජන යෝජනාවලිය

348

වර්තමනයේ උද්ගතව ඇති ආර්ථික හා දේශපාලන අරාජිකත්වයට මෙන්ම සමාජයීය වශයෙන් ඇති වී තිබෙන ජාතික නොසන්සුන්තාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අත්තනෝමතික හා අදූර දර්ශී ක්‍රියාමාර්ග සෘජුව හා වක්‍රව බලපාන ලද්දක් බව අප තරයේ විශ්වාස කරන්නෙමු. විශේෂයෙන්ම මෙරට ආහාර සුරක්ෂිතභාවය හා සෘජුවම සම්බන්ධ මෙරට වී වගාව ප්‍රමුඛ කොටගත් අතිරේක ආහාර බෝග වගාවත් එළවළු වගාවත් ඇතුළු සමස්ත යැපුම් හා වාණිජ කෘෂිකර්මාන්තය කෙරෙහි කෙටිකාලීනව හා දිගුකාලීනව බලපෑ කිසිදු උපායමාර්ගික සැලැස්මක් නොමැතිව ගනු ලැබූ රසායනික තෙල් පොහොර තහනම දැඩිසේ බලපාන ලදි. එම තීන්දුව ප්‍රමුඛ කොට ගනිමින් මෙරට ජන ජීවිතය හා සම්බන්ධ භාණ්ඩ හා සේවා පිළිබඳ ගනු ලැබූ මිල පාලන හා නව විකෘති අණ පනත් හා ගැසට් කිසිදු ප්‍රායෝගික ඒවා නොවූ අතර ඉන් වාසිය සැලසුනේ මෙරට ජාවාරම්කාර, ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට ය. මෙම ආණ්ඩුව බලයට පත්වීමට දුන් ජනතා වරම පිළිබඳව අංශුමාත්‍රයක් හෝ නොසිතා රට තුළ බඩු මිල ඉහළ යෑම ඇතුළු ගෑස් හා තෙල් අර්බුදවල වගකීම ගත යුත්තේ වැරදි ආර්ථික මුලෝපායන් හා සැලසුම් ක්‍රියාත්මක කරනු ලැබූ මෙරට ආණ්ඩුමය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දැඩි මහජන විරෝධයක් රට තුළ ඇති වී අද ආණ්ඩුවේ බොහෝ මැති ඇමැතීන්ට ද රට තුළ ජීවත් වීමට ද නොහැකි බව පිළිගත යුතු සත්‍යයකි.

මෙකී ජාතික සමාජ නොසන්සුන්භාවය තවදුරටත් වර්ධනය වී මුළු මහත් රටම ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන් ද අරාජික තත්ත්වයට පත් වන බවට කිසිදු සැකයක් නොමැත. මෙසේ ඇතිව තිබෙන තත්ත්වයට සහමුලින්ම වගකිව යුතු වන්නේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙරට ජනවරමක් නොලැබූ බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ නිල නොලත් නායකයා බවට පත්වීමත් ඒ යටතේ මුළුමනින්ම ආර්ථිකය වැරදි දිශානතියකට යොමුකිරීම නිසාවෙන් බව අපගේ විශ්වාසයයි. එසේම මෙකී වර්තමාන තත්ත්වය පිළිබඳව පූර්ණ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරෙන අතරම මෙකී අර්බුදය විසඳිය හැක්කේ ද එහි වගකීම හා යුතුකම ඇත්තේ ද ජනාධිපතිවරයාටය. එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ද පාට, පක්ෂ, ජාති, ආගම් භේදයකින් තොරව පටු දේශපාලන අරමුණු පසෙකලා රටත් ජනතාවත් පත්ව ඇති තත්ත්වයෙන් වහා මුදා ගැනීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා වහ වහා මැදිහත් වී අද පත්ව ඇති දේශපාලනික, ආර්ථික අරාජිකත්වයෙන් රටටත් පොදු ජනතාවටත් කඩිනම් සහන ලබාදීමේ වැඩපිළිවෙළක් කෙටිකාලීන හා මධ්‍යකාලීන ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජාතික ගොවිජන එකමුතුව ලෙස අපි, පොදු මහත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නෙමු.

අප විසින් ආණ්ඩුව ඇතුළු බලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලබන මෙකී යෝජනාවලිය තෙවැදෑරුම් යෝජනාවලියකි.

  1. කඩා වැටුණු ජන ජීවිතය නඟාසිටුවීමේ ප්‍රවේශගත ක්‍රියාමාර්ගය
  2. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රවේශගත ක්‍රියාමාර්ගය
  3. වත්මන් දේශපාලන අරාජිකත්වය හේතුවෙන් ඇති විය හැකි බෙදුම්වාදී, අන්තවාදී, වර්ගවාදී තත්ත්වයන් සහමුලින්ම පරදවන ජාතික ඒකාග්‍රතා ප්‍රවේශගත ක්‍රියාමාර්ග

(1) කඩාවැටුණු ජන ජීවිතය නඟාසිටුවීමේ ප්‍රවේශගත ක්‍රියාමාර්ගය

වැරදි ආර්ථික කළමනාකරණය හා තීන්දු තීරණ නිසාවෙන් ඇති වූ බඩු මිල ඉහළ යෑම හා භාණ්ඩ හිඟය ලෙස ප්‍රමුඛ වූ ගෑස්, ඉන්ධන හා කිරිපිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම හා මිල පහත හෙළීමේ ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බැවින් එකී ක්‍රියාමාර්ගය ප්‍රමුඛතම කාර්යය සේ සලකා පහත ප්‍රවේශගත ක්‍රියාමාර්ග වහ වහා ගත යුතුය.

උද්ධමනය පාලනය කිරීම සඳහා වූ කඩිනම් පියවර ගැනීමට මැදිහත් වීම.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පාලනයකට යටත්ව හැකි උපරිමයෙන් මිල පහත හෙළමට කටයුතු කරලීම.

ගෑස් හා ඉන්ධන මිල සඳහා ලෝක වෙළඳපොළේ මිල දිගුකාලීන උච්චාවචනයන්ට යටත්ව දේශීය මිල උච්චාවචනය වන පරිදි නව පාරිභෝගික මිල සූත්‍රයක් ක්‍රියාවට නැංවීම.

ආනයනික හා දේශීය මහා පරිමාණ වෙළෙන්දන්ගේ වෙළෙඳ ඒකාධිකාරිය බිඳ වැට්ටවීම සඳහා නිශ්චිත ප්‍රායෝගික මිල පාලන ක්‍රියාවලියක් නීතිගත කිරීම හා එය ක්‍රියාවට නැංවීම.

මෙරට නිෂ්පාදනය නොකරන එහෙත් ආනයනය කළ යුතුම පරිප්පු, සීනි වැනි අත්‍යවශ්‍ය ආහාර සඳහා පමණක් බදු සහන ක්‍රියාත්මක කිරීමත් අනවශ්‍ය අධි පරිභෝජන භාණ්ඩ හා සේවාවන් සඳහා ආනයනික සීමා හා අධි බදු බරක් පැනවීම.

වී, අතිරේක ආහාර බෝග හා එළවළු ඇතුළු සියලු වගාවන් සඳහා උපරිම බදු සහන කඩිනමින් ලබා දීමට කටයුතු කර ගොවි ජනතාවට ගොවිතැන් කිරීමට ධෛර්යමත් කිරීම උදෙසා ක්‍රියා කිරීම.

එළවළු හා පලතුරු ඇතුළු කෘෂි නිෂ්පාදන රට පුරාම බෙදා හැරීම සඳහා වූ දැනට ස්ථාපිත කර ඇති ආර්ථික මධ්‍යස්ථාන කාර්යභාරය ප්‍රතිශෝධනයට ලක්කර එය ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා වන, ධෛර්යමත් කරන හුවමාරු මධයස්ථානයක් බවට පත් කරලීමට අණ පනත් ක්‍රියාවට නංවාලීමට පියවර ගැනීම හා අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස යළි ස්ථාපනය කරලීමට අවශ්‍ය පියවර ගැනීම.

(02) ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රවේශගත ක්‍රියාමාර්ගය

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම හා ජාතික ඉතුරුම් හා සංචිත ඉහළ නංවාලීම සඳහා වන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනංවාලීමට අවශ්‍ය කටයුතු කෙටිකාලීනව, මධ්‍යකාලීනව හා දිගු කාලීනව ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය වන අතර අප විසින් ඒ සඳහා ඉදිරිපත් කරන යෝජනා මෙසේ ය.

වී වගාව ප්‍රමුඛ කොට අනෙකුත් එළවළු පලතුරු ඇතුළු කෘෂි නිෂ්පාදන ආර්ථිකයට යළි පණ දීම හා ආහාර සුරක්ෂිතතා පනතක් ඒ වෙනුවෙන් සම්මත කර මෙරට කෘෂිකර්මාන්තය නංවාලීමට බාධා වන අණ පනත් ප්‍රතිශෝධනය කිරීම. (විශේෂයෙන් 2003 අංක 22 දරන බීජ පනත)

කෘෂි නිෂ්පාදන යෙදවුම් හා කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා 100% ක බදු සහන ලබා දීම හා එමඟින් ගොවියන් ඇතුළු කෘෂි නිෂ්පාදන ව්‍යවසායකයන් ධෛර්යමත් කිරීම.

කෘෂි නිෂ්පාදන අපනයන ආර්ථිකයක් ඉලක්ක කරගනිමින් එළවළු, පලතුරු, විසිතුරු මල් හා විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන ක්ෂේත්‍ර සඳහා පුළුල් අවධානයක් යොමු කර ඒ සඳහා සහනදායී ආයෝජන සහන ණය ක්‍රමයක් හඳුන්වා දී ක්‍රියාවට නැංවීම.

● අල්ලස, දූෂණය හා නාස්තිය පිටු දැකීම සඳහා වන ක්‍රියාමාර්ගයන් දේශපාලනිකව හා රාජ්‍ය යාන්ත්‍රණය තුළින් ක්‍රියාවට නංවාලීම වෙනුවෙන් ක්ෂණික පියවර ගැනීම.

● පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් පුද්ගලීකරණය කිරීම වෙනුවට “පූර්ව විපරම්” ක්‍රියාවලියකට යටත් කොට නව ක්‍රියාන්විත සැලසුම් මත නැවත ස්ථාපනය කිරීම.

● රාජ්‍ය ආයතන හා නිලධාරීන්ගේ අතිකාල, ඉන්ධන ඇතුළු සියලු ආකාරයේ ප්‍රසාදිත දීමනා ප්‍රතිශෝධනයකට ලක් කිරීම.

● අතීතයට බලපාන ලෙස වත්කම් අධීක්ෂණ හා සියලු ආකාරයේ අයථා ඉපයීම් යළි පවරාගැනීම සඳහා වූ අණ පනත් සම්මත කිරීම.

● අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හා එහි විමර්ශන ඒකකය පූර්ණ බලැති අධිකාරියක් බවට පත් කිරීමට කටයුතු කිරීම.

● පත් කරනු ලබන්නා වූ සංස්ථා හා ආයතන සභාපති, අධ්‍යක්ෂකවරුන්ගේ වැටුප්, දීමනා හා අනෙකුත් වරප්‍රසාද හා නිලතල අවම මට්ටමකින් පවත්වා ගැනීම සඳහා ප්‍රතිශෝධනයට ලක් කර ගෞරවනීය මහජන සේවාවක් බවට ස්ථාපනය කිරීම.

● කඩා වැටුණු ජාතික ආර්ථිකයට බලපෑමක් නොවන අත්‍යවශ්‍ය වූ කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාවක් හා නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාවක් පත් කිරීම හා ඔවුන්ගේ දීමනා, වරප්‍රසාද, කාර්ය මණ්ඩල වරප්‍රසාද ඇතුළු අසීමාන්තික වරප්‍රසාද අහෝසි කරමින් මහජන සේවයක් උදෙසාම වන ලෙස අධික අනවශ්‍ය නාස්තිකාර වියදම් කප්පාදු කර ආර්ථිකය නගා සිටුවීමට උරදෙන අමාත්‍ය මණ්ඩල සේවයක් ප්‍රතිස්ථාපනය කිරීම.

● අකාර්යක්ෂම හා නිසි ලෙස සිය රාජකාරිය ඉටු නොකරන නිලධාරීන් සේවයෙන් පහ කිරීම සඳහා වූ විශේෂිත චක්‍රලේඛන නිකුත් කොට රාජ්‍ය සේවය කාර්යක්ෂමව, නාස්තියෙන් හා දූෂණයෙන් තොරව පවත්වා ගැනීම සඳහා විශේෂිත අණ පනත් ක්‍රියාත්මක කිරීම.

(03) වත්මන් දේශපාලන අරාජිකත්වය හේතුවෙන් ඇතිවිය හැකි බෙදුම්වාදී, අන්තවාදී,
ආගම්වාදී තත්ත්වය සහමුලින්ම පරදවන ජාතික ඒකාග්‍රතාවයෙන් යුතු ප්‍රවේශගත ක්‍රියාමාර්ගයන්

● තම පුද්ගලික දේශපාලනමය බලය තහවුරු කර ගැනීම උදෙසා කවරාකාරයේ හෝ බෙදුම්වාදී, ආගම්වාදී, අන්තවාදී ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම.

● බෙදුම්වාදී හෝ ජාතිවාදී, ආගම්වාදී ලෙස සෘජුව හා වක්‍රව බලපාන අණ පනත් අහෝසි කිරීමට කටයුතු කිරීම.

● පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයන්ට මෙරට ඒකීයභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලියකට පාර්ලිමේන්තුව තුළ යටත් කරලීම.

ඉහත තෙවැදෑරුම් ගොවිජන යෝජනාවලිය ක්‍රියාවට නැංවීම තුළින් වත්මන් අර්බුදය විසඳාලමින් අරාජිකත්වය පරාජය කර රටක් ලෙස පොදු මහජනතාවට සහන සලසමින් කටයුතු කරන්නේ නම් පමණක් මෙකී තත්ත්වය සමනය කර ගැනීමට හැකි බව අපගේ විශ්වාසයයි.

එනිසාම ජාතික ගොවිජන එකමුතුව මෙම අර්බුදකාරී මොහොතේ මෙකී ගොවිජන යෝජනාවලිය ඔබ වෙත ගෞරවනීය ලෙස පොදු මහජනතාව වෙනුවෙනුත්, රට වෙනුවෙනුත් මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

අනුරාධ තෙන්නකෝන්
සභාපති- ජාතික ගොවිජන එකමුතුව

advertistmentadvertistment
advertistmentadvertistment