ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි – අවසන් කටයුතු 7දා ත්‍රිකුණාමලයේදී

1

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක අභාවප්‍රාප්ත, ආර්. සම්පන්දන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 07 වැනිදා ත්‍රිකුණාමලයේදී සිදුකිරීමට නියමිතය.

කලක් රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (30දා) රාත්‍රි අභාවප්‍රාප්ත වූ සම්පන්දන් මහතා මියයන විට 91 වන වියෙහි පසුවිය.

1933 වර්ෂයේදී උපන් රාජවෝරෝදියම් සම්පන්දන් මහතා 1977 පැවති මහ මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට පැමිණියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.

1977 සිට 1983 දක්වාත්, 1997 සිට 2000 දක්වාත්, 2001 සිට මියයනතුරුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ සම්පන්දන් මහතා වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා විය.

යහපාලන රජය සමයේ මෙරට පාර්ලිමේන්තුවේ 14 වන විපක්ෂ නායකවරයා ලෙසද ඒ මහතා කටයුතු කළේය.
ත්‍රිකුණාමලය සමන් මල්ලවආරච්චි සහ කමල් බෝගොඩ

මෝදි ශෝකය පළ කරයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආර්. සම්පන්දන් මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබා ඇත.

සම්පන්දන් මහතාගේ පවුලේ සාමාජිකයින්ට මෙන්ම හිතවතුන්ට ශෝකය පළකරන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, සම්පන්දන් මහතා හමුවීම පිළිබඳ මතකයන් සැමවිටම අගය කරන බවද සඳහන් කර තිබේ.

සම්පන්දන් මහතා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සාමය, ආරක්ෂාව, සමානාත්මතාව හා යුක්තිය ගෞරවනීය ජීවිතයක් වෙනුවෙන් කැපවූ නායකයකු බවද නරේන්ද්‍ර මෝදි මහතා සටහනක් තබමින් සිහිපත් කොට ඇත.

දේහය හෙට පාර්ලිමේන්තුවට

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

අභාවප්‍රාප්ත, හිටපු විපක්ෂ නායකවරයකු සහ පක්ෂ නායකවරයකු වූ ආර්. සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ උත්සව ශාලාවේ හෙට (03දා) පස්වරු 2.00 සිට 4.00 දක්වා තැන්පත් කර තැබීමට පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (01දා) පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය කර තිබේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

පාර්ලිමේන්තුව අද (02දා) රැස්වී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරන අතර, පාර්ලිමේන්තුව හෙට රැස් නොවන බවටද මෙහිදී තීරණය කර ඇත. මීට පෙර දැනුම් දී තිබුණේ හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමටය.

හිස් වූ අසුන කුගදාසන්ට

අකිත පෙරේරා

අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට හිමිවීමට නියමිතය.

පසුගිය මහ මැතිවරණය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කළ කුගදාසන් මහතා පරාජිත ලැයිස්තුවේ පළමුවැනියා ලෙස සිටී. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 16770 කි.

advertistmentadvertistment
advertistmentadvertistment