ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ පෙත්සම් විභාගය නිම වන තෙක් RMV නි. කොමසාරිස් ජනරාල් ඇතුළු 7කට එරෙහි අල්ලස් නඩුව අත්හිටුවයි

409

පරිගණක දත්ත වෙනස් කොට ත්‍රිරෝද රථයක අංකය යටතේ රුපියල් කෝටි ගණනක් වටිනා මිනිකූපර් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ලියාපදිංචි කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 60ක් යටතේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය ඉදිරියට පවත්වයාගෙන යෑම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම චෝදනා පත්‍රය අභියෝගයට ලක්කරමින් එම නඩුවේ විත්තිකරුවකු වන වර්තමාන ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතා ගොනු කර තිබූ පෙත්සමක් ඊයේ (04) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆිල් පාරිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ යසන්ත කෝදාගොඩ, දිලිප් නවාස් සහ අචල වෙන්නප්පුලි යන විනිසුරු මඩුල්ල එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදී පෙත්සම් විභාගය අවසන් වනතුරු එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

කෙසේ වෙතත් තම අධිකරණය නිකුත් කළ එම අතුරු තහනම් නියෝගය මහාධිකරණය හමුවේ ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අපේක්ෂා කරන්නේ නම් එයට බාධාවක් නොවන බවද පෙන්වා දුන් විනිසුරු මඩුල්ල අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන අගෝස්තු 8 අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි යැවීමටද නියෝග කළේය.

2015.05.16 වැනිදා හා 2015.09.23 වැනිදා කාලය තුළදී කොළඹදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්පාදකවරයකු ලෙස කටයුතු කරමින් එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුල් වී එකී මිනිකූපර් රථය අජිත් කුමාර වනිසුන්දර නමැති විත්තිකරගේ නමින් ලියාපදිංචි කිරීමෙන් ශ්‍රී ලංකා රේගුවට අයවිය යුතු රුපියල් ලක්ෂ 26කට අධික රේගු ගාස්තුවක් අහිමි කිරීමත් ඒ සඳහා ආධාර අනුබල දීමත් එම විත්තිකරුවන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනා වේ. එවකට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස කටයුතු කළ වර්තමාන ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ, රෝහිත සමරවීර, උපුල් ප්‍රියන්ත ද සිල්වා, කේමන්ත මුත්තුංග, චන්න රෝහිත, ධර්මරත්න ජයන්ත හා අජිත් කුමාර වනිසුන්දර යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ එම නඩුව පසුගිය මාර්තු 27 වැනිදා මහාධිකරණය හමුවේ කැඳවිණි. එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆිල් පාරිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එදින මහාධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීමක් සිදුනොකොට මෙම මස 18 වැනිදා දක්වා නඩුව කල්තැබීමට නියෝග කොට තිබිණි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සට්මන් දප්පෙරුම මහත්මිය හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතාද දීර්ඝ ලෙස කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදුකර ඇති එකී අධිචෝදනා ගොනු කිරීම නීතියට අනුකූල බව විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්හ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment