ඉන්දියාව මෙවර විස්සයි – 20 ලෝක ශූරයන් වෙයි!

92

දකුණු අප්‍රිකාව අනුශූරතාවයෙන් සෑහීමකට පත්වෙයි

2024 විස්සයි-20 ලෝක කුසලානයේ ශූරවයන් බවට පත්වන්නට ඉන්දීය කණ්ඩායම පෙරේදා (29දා) සමත්විය.

බාබඩෝස්හි බිඩ්ජ්ටවුන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ කාසියේ වාසිය ඉන්දියාව සතුවූ අතර ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් පමණි. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 7ක තියුණු ජයක් සමගින් 2024 විස්සයි-20 ලෝක කුසලාන කිරුළේ පහස විඳින්නට ද අවස්ථාව උදාවිය.

නායක රෝහිත් ශර්මා ලකුණු 09කට සහ ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 3ක් ම ලකුණු 34ක් තුළ බිඳ දැමීමට දකුණු අප්‍රිකාව සමත් වුණිද, පස්වන කඩුල්ල වෙනුවෙන් විරාත් කෝලි සහ අක්ෂාර් පටෙල් එක්ව ලකුණු 72ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වීමත් සමග කඩා වැටුණු ඉන්දීය ඉනිම නැවත ශක්තිමත් විය. ඒ අනුව පන්දු 59කින් ලකුණු 76ක් රැස් කළ විරාත්කෝලි සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විණි. අක්ෂාර් පටෙල් ලකුණු 47ක් ලැබීය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් කේෂව් මහරාජ් සහ ඇන්ඩි්‍රජ් නොටර්ජි කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා ලකුණු 177ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 169කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ හෙන්ද්‍රික් ක්ලාසන් පන්දු 27කින් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔවුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් ඇතුළත් විය. ක්වන් ඩි කොක් ලකුණු 39ක් ලබා ගැනීමට සමත්විය.

වරෙක දකුණු අප්‍රිකාවට තරගය ජයග්‍රහණය කිරීමට කඩුලු 6ක් අතැතිව පන්දු 30කින් ලකුණු 30ක් ලබා ගැනීමට අවශ්‍ය වී තිබුණද ජස්ප්‍රිට් බුම්රාහ් විසින් ක්‍රියාත්මක කළ ඉනිමේ 16 වැනි පන්දු වාරය දකුණු අප්‍රිකානු ඉනිම අඩපන කිරීමට සමත්විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 20කට කඩුලු 3ක්, ජස්ෆිට් බුම්රාහ් ලකුණු 18කට කඩුලු 2ක් සහ අර්ෂදීප් සිං ලකුණු 20කට කඩුලු 2ක් දවාලූහ.

තරගයේ වීරයා ලෙස විරාත් කෝලි සම්මාන ලබාගත් අතර තරගාවලියේ වීරයා ලෙස තරගාවලිය තුළ කඩුලු 15ක් බිඳහෙලූ ජස්ෆිට් බුම්රා සම්මාන ලැබීය.

මෙය ඉන්දියාවේ දෙවැනි විස්සයි-20 ලෝක ශූරතා ජයග්‍රහණය විය.

එමෙන්ම මෙම තරගයෙන් පසුව විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තමන් තීරණය කළ බව රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි නිවේදනය කිරීම විශේෂ සිදුවීමක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment