ඉරාන ජනාධිපති අවසන් ගමන් යයි

340

ඉමාම් රේසා සොහොන් ගෙදර දී දේහය භූමදාන කළ ප්‍රථම ඉරාන නායකයා වෙයි

ඉකුත් ඉරිදා (19දා) සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරෙන් මියගිය ඉරාන ජනාධිපති ඒබ්‍රහිම් රයිසිගේ දේහය ඊයේ (23දා) ඔහු උපත ලැබූ ශුද්ධ වු ‘මෂාඩ්’ නගරයේ පිහිටි ඉමාම් රේසා සොහොන් ගෙදරදී භූමදානය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අනුව රයිසි අදාළ මුස්ලිම් දේවස්ථානයේ දේහය භූමදානය කළ ප්‍රථම ඉරාන නායකයා බවට පත් විය.

රයිසි ජනාධිපතිවරයා සමග හෙලිකොප්ටර් යානා අනතුරෙන් මියගිය ඉරාන විදේශ කටයුතු ඇමැති හොසේන් අමීර් අබ්දොල්ලාහියන්ගේ දේහය ද ශහිර් ඊ රේ නගරයේ පිහිටි ‘ෂා අබ්දොල් අසීම්’ දේවස්ථානයේ ඊයේ භූමදානය කිරීමට නියමිතව තිබිණි. රයිසි මෙන්ම ඔහුගේ විදේශ කටයුතු ඇමැතිවරයාගේ දේහ භූමදානය කිරීමට පෙර ඉරාන රාජ්‍ය නිලධාරින් මෙන්ම විදේශ නියෝජිතයන් එම දේහයන්ට ටෙහෙරාන් අගනුවර දී අවසන් ගෞරව දක්වා තිබිණි.

ඉකුත් ඉරිදා හෙලිකොප්ටර් යානා අනතුරකින් මියගිය 63 හැවිරිදි රයිසිගේ දේහයට හා අනතුරෙන් මියගිය සෙසු අට දෙනාගේ දේහයන්ට ඉකුත් අඟහරුවාදා සිට විවිධ නගරවලදී දේව මෙහෙයන් පවත්වා අවසන් ගෞරව දැක්වීමට ඉරාන රජය පියවර ගෙන තිබිණි. මෙම දේවමෙහෙයන් පැවැත්වීම සඳහා රයිසි ජනාධිපතිවරයාගේ දේහය ගෙන එන විට ඉරාන ධජය හා රයිසිගේ පිළිරූ රැගත් දහස් ගණනක් වූ ඉරාන ජනතාව වීථි දෙපස එක් රොක් වී සිටි බව වාර්තා වෙයි.

රයිසි ජනාධිපතිවරයාගේ මරණයෙන් පසු එරට පළමු උප ජනාධිපති මොහොමඩ් මොක්බාර් වැඩ බලන ජනාධිපතිවරයා ලෙසත් අලි බගේරි කානි වැඩබලන විදේශ කටයුතු ඇමැතිවරයා ලෙසත් පත් වූ අතර ඉරානයේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණය ලබන ජුනි 28 වැනිදා පැවැත්වීමට නියමිතය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment