උතුම් වෙසක් පුන් පෝ දින අදට යෙදී තිබේ. උතුම් යැයි කියන්නේ උතුම් මනුෂ්‍යයකු බිහි වූ දිනය නිසාය. මනුෂ්‍යයකු උතුම් වන්නේ මිනිසකු ලෙස ඉපිද, ළඟා කර ගත හැකි උතුම්ම තත්ත්වයට ළඟා වූ නිසාය. ඒ බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ ඉපිද දැන් වසර දෙදහස් පන්සිය හැටපහක් ගතවී තිබේ.
තමන් මනුෂ්‍යයකු යැයි පැවසූ එකම ආගමික ශාස්තෘවරයානෝ බුදුන් වහන්සේය. නොපෙනෙන දෙවියකු නිර්මාණය කළේ යැයි පිළිගනු ලබන ආගමික නායකයන් අතර උන්වහන්සේ පැවසුවේ තමන් දෙවියකු හෝ වෙනත් අමනුෂ්‍යයකු නොව උත්තරීතර මනුෂ්‍යයකු බවය.
බුදුන් වහන්සේ මෙන්ම වෙනත් බොහෝ අය ද උපන් වේලාවන් නොව, ඉපදීමට නියමිත වේලාවන් ඊට බොහෝ කලකට පෙර ඉන්දියාවේ නාඩි ශාස්ත්‍රයට අයත් ග්‍රන්ථවල ලියා තිබේ. මේ අනුව උන්වහන්සේගේ උපත “කලියුග වර්ෂ 2478 වෙසක් පුන් පෝ දින ලත් ඉරිදා දිනක උදයාදී එකොළොස් පැය විනාඩි හතරට විසා නැකතින් කටක ලග්නයෙන් සිංහ නවාංශකයෙන්” සිදුවන බව කෞමාර නාඩි වාක්‍යවල සඳහන් වේ.
සම්බුද්ධ කේන්ද්‍රය නාඩි ශාස්ත්‍රයට අයත් පත්ඉරු කියවා බලා මෙම සම්බුද්ධ කේන්ද්‍රය ‘බුද්ධ චරිතය’ ග්‍රන්ථය මගින් එළිදැක්වීමේ ගෞරවය අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිපාණන්ට හිමි වේ.
කේන්ද්‍ර සටහනක් යනු කර්ම සටහනකි. පෙර ආත්මවල කරන ලද කුසලාකුසල කර්ම, මෙම ආත්මයේ පලදෙන ආකාරය ජන්ම පත්‍රය මගින් පෙන්වයි. මේ හැර ග්‍රහයකු විසින් සුබ හෝ අසුබ පල දෙනවා නොවේ. සිදුහත් බෝසතුන්ගේ පෙර කර්ම මෙම ජන්ම පත්‍රය පෙන්වා දෙයි. ජ්‍යොතිෂයේ සත්‍යතාවය වටහා ගැනීමට මෙයම සාක්ෂියකි. ජ්‍යොතිෂය ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට මෙයම පාඩමකි.
මෙහි රවි එකොළොස්වැන්නේ රාශි වශයෙන් ඇතත් භාව වශයෙන් පසළොස්වක පෝය යෙදෙන බව සැලකිය යුතුය. කේන්ද්‍රයක ගුරු පළමු භාවයේ බලවත්ව පිහිටීම පිළිබඳව භාව ප්‍රකාශය නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ.
“හේ ආත්මීය ගුණ සමූහය කරනකොට ගෙන සියලු ලෝ වැසියන්ගේ ගුරු බවට පැමිණේ. සුවපත් වූ යහපත් ශරීර කාන්තිය ඇත්තෙක් වේ.”
මෙම කේන්ද්‍රයේ කුජ උච්ච බලයෙන් යුක්තය. රුචක නම් වූ මහා පුරුෂ යෝගය වන මේ නිසා නිර්භිත බව, නොපසුබට උත්සාහය, ධෛර්යය හා ජයග්‍රහණ ලැබීමේ වාසනාව පෙන්වයි. දුෂ්කර ක්‍රියාවේ යෙදුණු සය වසර ගැන සලකන විට මෙය ප්‍රත්‍යක්ෂ වේ. සාමාන්‍ය මිනිසුන්ගේ ධෛර්යය ඉක්මනින් හීන වන බැවිනි. උන්වහන්සේ සම්මා සම්බුද්ධ තත්ත්වයට පත්වූයේ එබැවිනි. සිකුරු උච්ච බලයෙන් යුක්තව පුණ්‍යස්ථානගත වී තිබේ. සිකුරු සැපට අධිපති වේ. නමුත් පුණ්‍යස්ථානයේ නිසා සැප සම්පත්වල නොඇලුන ද, රමණීය ආරාම ඇතුළු පහසු වාසස්ථාන හිමි විය. ‘භගවා’ නමින් දැක්වෙන භාග්‍යය, වාසනාව අයත් බුදු ගුණය එයයි. ප්‍රධානතම ග්‍රහයා වන රවි බලවත් වීමෙන් සියලු පූජාවන්ට සුදුසු වූ යන බුදු ගුණය වන “අරහං” ගුණය සංකේතවත් කෙරේ. මෙවැනි ග්‍රහ බල සහිතව කෙනකු උපන්නොත් පත්වන තත්ත්වය ගැන ද ජ්‍යොතිෂ ග්‍රන්ථවල සඳහන් වේ. මෙම ශාස්ත්‍රයේ මෝක්ෂ යෝග කාණ්ඩයේ දැක්වෙන මෙම වගන්තියෙන් එය මනාව පැහැදිලි කරයි. “කටක ලග්නය වී එහි බ්‍රහස්පති ද බලවත් ග්‍රහයන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් කේන්ද්‍රගත වීම ද හේතුකොට ගෙන උපන් මිනිස් තෙම මෝක්ෂයට පැමිණෙන්නේය.” මෙය පරම සත්‍ය වූ බව අපි දනිමු.
බුදුවරයකු පහල වන්නේ කල්ප ගණනකිනි. එමෙන්ම මෙම ජන්ම පත්‍රයේ පිහිටන ආකාරයට ග්‍රහ පිහිටීම් ද කල්ප ගණනකින් පමණක් උදා වේ.
ජ්‍යොතිර්වේදීන් ද සාමාන්‍ය ජනතාව ද සැලකිලිමත් වන අයහපත් කාලයක් නම් සෙනසුරු ඒරාෂ්ටක අපලය උදාවන කාලසීමාවයි. බෝසතාණන් වහන්සේගේ ජන්ම පත්‍රයේ සඳු හතරවැන්නේත්, ශනි අටවැන්නේත් පිහිටා තිබේ. මේ අනුව ප්‍රථම ජන්ම ඒරාෂ්ටක අපලය වයස 16-23 අතර පැවතිය යුතුය. මේ කාලයේ තම නැදෑයන්ට දුනු ශිල්ප ආදිය පෙන්වා අප්‍රසාදය දුරු කිරීමට සිදු විය. එහෙත් ශනි උච්ච රාශිය නිසා තම බලය වැඩි විය. වයස අවුරුදු 40 දී පමණ ලග්නයෙන් දොළහේ ශනි ගමන් කරන විට සුද්ධෝදන රජතුමාගේ අභාවය සිදුවිය. ඊට පෙර අටවැන්නේ සිටි ශනි නැවත වරක් අටවැන්නට ගමන් කරන්නේ අවුරුදු විසිනවය වන විටය. ඒ දුෂ්කර ක්‍රියාව ආරම්භ වූ සමයයි. උන්වහන්සේ විසා නැකතින් ඉපදුණු බැවින් ගුරු දශාව තුළ ඉපදී ඇති අතර ඉන්පසුව උදාවන ශනි මහ දශාව හා ඒරාෂ්ටක අපලය එකට යෙදී තිබේ. අතිශයින් දුක් සහිත කාලයක් වූ එය නිමවා බුධ දශාව ආරම්භ වනවිට බුද්ධත්වයට පත් විය. උපතේදී ගුරු සිටියේ ලග්නයේය. වසර දොළහකට වරක් රාශි චක්‍රය පසු කරයි. එනම් වසර 35 වනවිට ගුරු ග්‍රහයා ගෝචර ගමනින් නැවත වරක් ලග්නයේ ගමන් කරන කාලය වන්නට ඇත.
ශනි රාශි චක්‍රයේ ගමන වසර තිහකට ආසන්න කාලයකදී නිම කරයි. මේ නිසා වයස 60 දී ශනි අටවැන්නේය. 9, 10, 11, 12, 1, 2, 3 යන රාශි හරහා ගමන් කිරීම වසර 18-20 පමණ ගතවන අතර මේ අනුව වයස අවුරුදු අසූව වනවිට සෙනසුරු ග්‍රහයා සඳු මතින් ගමන් කරන ජන්ම ඒරාෂ්ටක අපල කාලය උදාවී තිබේ. සම්බුද්ධ පරිනිර්වානය සිදුවන්නේ එවිටය. උත්තරීතර මනුෂ්‍යයකු ලෙසම නිමාවට පත් කරන ජීවිතය අවසන් වන්නේ ද වෙසක් පුර පසළොස්වක පෝය දිනකය.
සෙනසුරු ඒරාෂ්ටක අපලය නිසා උන්වහන්සේ පිරිනිවන් වැඩියා නොවේ. දුෂ්කර ක්‍රියා කළේ ද සෙනසුරු නිසා නොවේ. බුදු වූයේ ගුරු නිසා නොවේ. කෝටි ගණන් වටිනා ජේතවනාරාමය වැනි ආරාම ලැබූයේ සිකුරු බලවත්වීම නිසා ද නොවේ. ඒ සියල්ලක්ම කර්ම විපාක වේ. ග්‍රහයින්, කර්ම පෙන්වාදී ඇත. බුදුන් වහන්සේගේ සුවිශේෂ ඉගැන්වීමක් වූයේ කර්ම නියමයයි. සිතා මතා කරන සියලු දේ කර්මයි. ඒවා මතු විපාක දීමට සමත්ය. වැපිරූ දේ අස්වැන්න ලෙස කපා ගත යුතු වේ. කේන්ද්‍රය යනු කර්ම සටහනයි.
ඉතින් කර්මවලට බිය විය යුතුද? කර්ම පිළිගත යුතුද? කර්ම විපාක නිසා දුක් විඳිය යුතුමද? නැත. දුක් දුරු කර සතුට ලබන හැටි ද ඉගැන්වූ ගුරුවරයානෝ බුදුන් වහන්සේය. ශරීරය හා මනස සහිත තමාගේ රියැදුරා තමාම ය. නියම දිශාවට පැදවීම තමා සතුය.
මේ සඳහා අනුගමනය කළ යුතු කරුණු තුන ද බුදුන් වහන්සේ උගන්වා ඇත. මේ හැර දුක දුරු කර සතුට ලබන ක්‍රමයන් නැත. කුමක්ද ඒ කරුණු තුන?
සියලු පව නොකරන්න (සබ්බ පාපස්ස අකරනං) මේ පළමු පියවර නැතිව ඉදිරියට යා නොහැක. දෙවැනිව කුසල් උපදවන්න (කුසලස්ස උපසම්පදා) තුන්වෙනුව හිත දමනය කළ යුතුය. (සචිත්ත පරියෝ දපනං) මේ බුදුන් වහන්සේලාගේ අනුශාසනයයි.
මේ අනුශාසනයෙන් බැහැරව අනියම් මාර්ගවලින් සතුට සොයන අයට අත්වන ඉරණම ඇස් ඉදිරිපිටම පෙනෙන්නට තිබෙනවා නොවේද?
ඔබ සැමට බුදුසරණයි.
කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්
දු.අංකය – 0771 234 313