උසාවියට අභියෝග කිරීම සහ දැන දැනම වස කෑම

673

කොරෝනා කාලයේදී මේ රටේ සියලුම මත්පැන් බාර් වසන ලදි. මත්පැනට දරුණු ලෙස හුරුව සිටි ඇතැම් බේබද්දෝ මේ කියන කාලයේදී ගෙදරම කසිප්පු පෙරාගෙන බොන්නට පටන් ගත්හ. එක්දහස් හත්සිය ගණන්වලදී ඇමරිකාවේ ජනයා විස්කි පෙරන ලද්දේ ද මේ ආකාරයෙන්මය. ගෙදර පිටිපස්සේ රෑ පානයේ හඳ එළියේ පෙරන ලද බැවින් මේ හොර විස්කි හඳුන්වන ලද්දේ Moon Shine ලෙසය. 1794දී ඇමරිකාවේ ෆෙඩරල් රාජ්‍යයක් බිහිවූ පසු ගෙදර පෙරන විස්කිවලට ටැක්ස් එකක් ගහන්නට ඇමරිකන් ආණ්ඩුව කල්පනා කළේය. ඒ නිසා බලවත් කෝපයට පත් ඇමරිකානුවෝ 1794දී ඉහත සඳහන් බදු තීරණයට විරුද්ධව කැරැල්ලක් පටන්ගෙන බදු එකතු කරන නිලධාරීන්ගේ ගෙවල් පුච්චන්නට වූහ. මෙය ලෝක ඉතිහාසයේ හඳුන්වනු ලබන්නේ විස්කි කැරැල්ල ලෙසය. මේ කැරැල්ල මැඬපැවැත්වීම සඳහා 15,000ක හමුදාවක් කැරැල්ල පැවැති ඇමරිකාවේ පෙන්සිල්වේනියාවට යැවූ එරට ජනාධිපතිතුමා කැරැලිකරුවන්ට බෙල්ලට දෙකක් දී මර්දනය කර රාජ්‍යද්‍රෝහී චෝදනාවන් යටතේ උසාවියට ඉදිරිපත් කළහ. රාජ්‍ය ද්‍රෝහිත්වයට දඬුවම මරණය වේ. එසේ මරණය නියම වූ සියලුම දෙනාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එවකට සිටි ඇමරිකන් ජනාධිපතිතුමා තීරණය කළේය. ජනාධිපති සමාව පිළිබඳව ලෝක ඉතිහාසයේ පළමු වන ලිඛිත තොරතුර මෙය වේ. ජනාධිපති සමාව පිළිබඳව මේ මොහොතේදී අපේ රටේ ද සංවාදයක් ගොඩනැඟී ඇත. මේ සංවාදයට මාතෘකාව වී ඇත්තේ රෝයල් පාර්ක් මිනීමැරුමට සම්බන්ධ ඝාතකයාට ජනාධිපති සමාවක් ප්‍රදානය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණයයි.

රෝයල් පාර්ක් ඝාතනය මේ රටේ අධිකරණ ඉතිහාසයේ ඉතා විශේෂ නඩුවක් වේ. සාමන්ත ජූඩ් ඇන්තනී නමැති තරුණයා 19 හැවිරිදි ඉවෝන් ජෝන්සන් නමැති පෙම්වතිය අමානුෂික ලෙස ඝාතනය කිරීම රෝයල් පාර්ක් නඩුවට මූලික වූ නඩු නිමිත්තයි. ජූඩ් සමන්ත මියගිය තරුණියගේ සහෝදරිය සමග ද ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබිණි. ඉන් පසුව ඇය ඉවතලූ හෙතෙම ඉවෝන් ජොන්සන් සමග ප්‍රේමයක් ඇතිකර ගත්තේය. පසුව දවසක අක්කාත් නංගීත් නංගිගේ පෙම්වතාත් යන තිදෙනාම කොළඹ තරු පහේ හෝටලයකට ගොස් මත්පැන් පානය කර විනෝද වූහ. පසුව රෝයල් පාර්ක් හි පිහිටි සිය පෙම්වතියගේ එපාර්ට්මන්ට් එකට ඇය ඇරලවීම සඳහා සාමන්ත ජූඩ් ඇන්තනී ඇය සමග ගියේය. පසු දින උදේ ඉවෝන් ජෝන්සන්ගේ මළමිනිය හමුවිය. එය ඉතා දරුණු ලෙස වධයට ලක්වූ සහ ලේ වියැකුණු මළසිරුරක් විය. මේ මිනීමැරුම ගැන සෙවීම සඳහා රහස් පොලිසියේ ශානි අබේසේකරට භාර දෙන ලදි. ශානි, ඉතා ලේසියෙන් සාමන්ත ජූඩ් ඇන්තනී අත්අඩංගුවට ගත්තේය. අන්තිමේදී සාමන්ත ජූඩ් ඇන්තනී 12 අවුරුද්දකට හිරේ ගියේය. ජූඩ්, මේ මිනීමැරුම කරන්නේ 2015 දීය. හිරේ ගිය සාමන්ත ජූඩ් ඇන්තනී නිකන් සිටියේ නැත. ඔහු සිරගෙදර තුළදී පාඩම් කර උපාධිය ද ලබාගත්තේය. 2019 එකොළොස් වන මාසයේ 13 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සාමන්ත ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාව ලබා දුන්නේය. ඒ වනවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිටියේ සිය ධුර කාලය අවසන්වීමට ඉතා කිට්ටුවය.

සාමන්ත ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාව දීමට එරෙහිව කාන්තා සහ මාධ්‍ය එකමුතුව නමැති සංවිධානය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි. එම නඩු විභාගයේදී හෙළිවූ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය මගින් ජනාධිපති සමාව පිළිබඳ බලතල ජනාධිපතිට හිමිවී ඇති නමුදු සාමන්ත ජූඩ් ඇන්තනීට සමාව දීමේදී ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාදාමය ජනාධිපති මෛත්‍රි අනුගමනය කර නැති බව හෙළිවිය. මේ නිසා ජනාධිපති මෛත්‍රිගේ තීන්දුව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදි. ඒ අනුව පොදු සමා තීන්දුව ද රිවර්ස් ය. එහි අනෙක් තේරුම වන්නේ සාමන්ත ජූඩ් ඇන්තනී නැවතත් ඇතුළට ගොස් දොළොස් අවුරුද්දේ සිරදඬුවම සම්පූර්ණ කළ යුතු බවය. හිරේ සිටි මුල් කාලයේදී සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කළ සාමන්ත ජූඩ් ඇන්තනීට ඉදිරියට එන හිර කාලය තුළදී ආචාර්ය උපාධිය දක්වා ගමන් කළ හැකි බව අපි කල්පනා කරමු. එහෙත් මේ දඬුවම විඳීම සඳහා සාමන්ත ජූඩ් ඇන්තනී ලංකාවේ ඉන්නවා ද යන කාරණය ගැන අපි නොදනිමු.

ප්‍රජාතන්ත්‍රවාදී රටක රාජ්‍ය පාලනය නමැති පියස දරාගෙන සිටින ප්‍රධාන කුලුනු තුනක් තිබේ. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යනාදිය ප්‍රධාන කුලුනු තුන වේ. මේ කුලුනු තුනෙන් එකක්වත් ගැලවුණොත් රාජ්‍ය පාලනය නමැති වහලය කඩාවැටේ. ඒ වහලය කඩාවැටෙන්නේ ජනතාවගේ ඔළුව උඩටය. ජනාධිපති මෛත්‍රි සාමන්ත ජූඩ් ඇන්තනීට සමාව දීමෙන් කර තිබුණේ සුප්‍රීම් උසාවිය හෙවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉක්මවා යෑමය. අධිකරණය සමග සෙල්ලම් කිරීම ලෝකයේ තිබෙන වඩාත්ම භයානක සෙල්ලම්වලින් එකක් වෙයි. මේ සෙල්ලම ගැස්සුණු විට ක්‍රීඩකයා මෙන්ම තීරකයාට ද වහ කන්නට සිදුවේ. සාමන්ත ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාව දීමෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවිධිමත් ලෙස කටයුතු කර ඇති බව තීන්දු වීමෙන් පසු මරා දැමුණු තරුණියගේ මවටත් සොහොයුරියටත් පෙත්සම්කරුවන්ටත් රුපියල් ලක්‍ෂ 10 බැගින් ගෙවන ලෙස ගරු අධිකරණය මගින් හිටපු ජනාධිපති මෛත්‍රිට නියෝග කර ඇත. මේ වන්දිය මාස 4ක් තුළ ගෙවිය යුතුය. මෙය ඉතාම කරදරකාරී පරිප්පුවකි. මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් මෙවැනි ඉරණමකට මුහුණ දිය යුතු යැයි අපි ප්‍රාර්ථනා නොකරමු. එහෙත් බුදුන් වහන්සේ දේශනා කළාක් මෙන් තල වැපිරූවිට හටගන්නේ තලය, අමු වැපිරූවිට අමු හටගනී. ගොනා පසුපස කරත්තය ඇදී යන්නාසේ තමා කළ දෙය තමා පසුපස ඇදී එයි. මෙය බුදුවදනක් පමණක් නොව ලෝක ධර්මතාවක් බවට ද පත්වී තිබේ. එන එන ජනාධිපති අධිකරණ තීන්දු රිවර්ස් කරන්නට පටන් ගත්තොත් මළ මඟුලක් සිදුවනවා ඇත. එමගින් අපරාධකරුවන්ට ධෛර්යයක් ලැබේ. තමන්ට හිතවත් ජනාධිපති කෙනකු ලවා ජනාධිපති සමාව ලබාගත හැකි බව සිතමින් මෙකී අපරාධකරුවන් නිදැල්ලේ මිනී මරනවා ඇත. ස්ත්‍රී දූෂණයේ යෙදෙනවා ඇත. ශිෂ්ටාචාරය පාලනය කරන්නේ නීතිය මගිනි. ශිෂ්ටාචාරය ශිෂ්ට කරන්නේ ආගම මගිනි. මේ නිසා නීතිය සහ යුක්තිය පසිඳලන ආයතනවලට ගහන්නට ගියොත් ආපසු ගල් යුගය දක්වා ගමන් කර කොළ අතු ඇඳගෙන, දුනු ඊතල ගෙන සතුන් පිටුපස දුවන්නට අපට සිදුවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment