ඒස් ඇඹිලිපිටියට බැල්ම දායි – හදිසි මිලදී ගැනීම්වලට විදුලි ඉංජිනේරුවෝ පිරිසක් කෙළ ගිලිති

143

කෘෂිකාර්මික කටයුතුවලට සමනලවැවේ ජලය මුදාහැරිය යුතු බව කියමින් ඇඹිලිපිටිය ‘ඒස් පවර්’ නමැති පුද්ගලික ඩීසල් බලාගාරයෙන් (මෙගාවොට් 100) හදිසි විදුලිය මිල දී ගැනීමට විදුලිබල මණ්ඩලයේම එක්තරා පිරිසක් සැරසෙන බව එහි නිලධාරීහුම පවසති.

දකුණු පළාතේ විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා 2000 වසරේ සිට ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම්ගතව සිටි අතර එම ගිවිසුමේ කාලය ඉකුත් 2014 වසරේ දී අවසන් විය.

නමුත් දකුණේ විදුලි අවශ්‍යතාව වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය අදාළ ගිවිසුම් කාලයෙන් පසුවත් හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ කෙටි කාලීන ගිවිසුම් මත මාස හයෙන් හයට එම ඩීසල් බලාගාරයෙන් විදුලිය මිලදී ගත් බව ලංවිම ඉංජිනේරුවෝ කියා සිටිති.

ඉන්ධන මිල විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීමට පෙර මෙකී ඩීසල් බලාගාරයෙන් විදුලි ඒකකයක් මිලදී ගත්තේ රුපියල් 90ක මුදලකට යැයි ද මේ වනවිට එහි විදුලි ඒකකය මිල රුපියල් 135ක් පමණ වනු ඇතැයි ද ගණන් බලා තිබේ. මෙකී ඩීසල් බලාගාරයෙන් හදිසි විදුලි මිලදී ගැනීම් ලෙස 2014 සිට මිලදී ගත් විදුලිය වෙනුවෙන් ලංවිම ගෙවා තිබෙන මුදල රුපියල් කෝටි 50,000 (බිලියන 500) වැඩි යැයි ද ගණනය කිරීම්වලදී හෙළි වී ඇත.

දකුණු පළාතේ, ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනට ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාදීමට ක්‍රියාත්මක කර තිබූ අධිබලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ද රත්නපුරය ප්‍රදේශයේදී නතර කර දැමීමට පිරිසක් කටයුතු කර තිබේ. මෙම සම්ප්‍රේෂණ මාර්ගය පොල්පිටිය සිට හම්බන්තොට දක්වා ක්‍රියාත්මක කර තිබුණත් රත්නපුරය ප්‍රදේශයේ අක්කර ගණනක් හිමි කාන්තාවකගේ විරෝධතාවක් නිසා එම ව්‍යාපෘතිය ද නතර වී ඇත.

දකුණු පළාතට විදුලිය ලබාදීමට මෙතරම් බාධක ඇති වී ඇත්තේ ඇඹිලිපිටිය ඒස් පවර් පුද්ගලික ඩීසල් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ මාෆියාවට සම්බන්ධ පිරිසකගේ බලපෑම නිසා යැයි විදුලි වෘත්තිය සමිති ද පවසති. මේ අතර උඩවලව ජලාශයේ ජලය නිකරුණේ මුදාහැරීමේ සිද්ධියක් ද අනාවරණය වී ඇතැයි විදුලි ඉංජිනේරුවෝ කියා සිටිති.

ඉකුත් ජූලි මස 01 වැනිදා වනවිට උඩවලව ජලාශයේ ජලය සියයට පනහක් දක්වා පිරි තිබුණ මුත් ජූලි මස 31 වැනිදා වනවිට එම ජලාශයේ ජල මට්ටම සියයට දහතුන දක්වා පහළ යෑම පිළිබඳව වහා සොයා බැලිය යුතු බව ද ඔවුහු පවසති. මේ වනවිට උඩවලවේ ජල මට්ටම සියයට දෙකට අඩු වී ඇත. මෙම හේතුව නිසා උඩවලව ජලාශයට, සමනලවැව ජලාශයෙන් ජලය මුදාහැරීමට සිදුවී තිබෙන බව ද ඔවුහු පවසති. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සමනලවැව ජලාශයේ තිබෙන සීමිත ජලයෙන් මුදාහැරියහොත් විදුලි උත්පාදනය කරන ටර්බයින් යන්ත්‍ර ක්‍රියා කිරීමට නොහැකි වන තත්ත්වයක් ඇති වී තිබේ.

හදිසි මිලදී ගැනීම් යටතේ ඒස් පවර් ඩීසල් බලාගාරයෙන් විදුලි මිලදී නොගතහොත් ගාල්ල, මාතර, හම්බන්තොටට පැය හතරක කාලයක් විදුලිය කපා හැරීමට සිදුව ඇත. නියඟය පිළිබඳව සියලු තොරතුරු දත් ඇතැම් ඉංජිනේරුවන් හදිසි මිලදී ගැනීම් යටතේ විදුලිය මිලදී ගන්නට සැරසෙන්නේ එමගින් විශාල කොමිස් මුදල් ඇතැම් අයට ලබාගත හැකි නිසා දැයි සොයා බැලිය යුතු බව ද ලංවිම ඉංජිනේරුවනම කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment