රට වටේම මුහුද තිබුණත් මෙන්න අපට අලුත් වෙරළක්…

279
කෘත්‍රීම වෙරළ තීරය

කෘත්‍රිම වෙරළ තීරයක් පිළිබඳ සජීවී අත්දැකීමක් අත්විඳිමින් හිඳිමි. එම අත්දැකීම් කලාපයට පිවිසීමට මෙරට ජනතාවට මුල් වරට අවස්ථාව හිමි වූවේ ඉකුත් 15 දා සිටය. මෙරට මහ පොළොව මත මුල්වරට සැබෑවක් වූ එම කෘත්‍රිම වෙරළ තීරය නිර්මාණය වන්නෙ කොළඹ වරාය නගරය ආශ්‍රිත එක්තරා සුවිශේෂී ස්ථානයකය. ඉකුත් දිනක එම ස්ථානයේ සිරි විසිතුරු නැරඹීමේ අවස්ථාව අපහට උදාවූහ. වරාය නගරයේ කළමනාකාරීත්වය මැදහත් වීමෙන් හිමි වූ විශේෂ අවසරයක් මත අප එම ස්ථානයට ළඟා වූ අතර ගමන ආරම්භ වූවේ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට මද දුරකින් පිහිටි වරාය නගරය ප්‍රධාන පිවිසුම් වෙත ඇතුළු වී නිසි අවසර ලබා ගැනීමෙන් අනතුරුවය.

ප්‍රධාන පිවිසුමෙන් ඇතුල් වූ පසු කෘත්‍රිම වෙරළ තීරය වෙත ළඟා වීම පිණිස කිලෝමීටර් 2 1/2 ක දුරක් ගමන් කළ යුතුය. ඒ මග තරණය කිරීමට මාර්ග දෙකක් සකසා තිබෙන අතර එක් මාර්ගයක් වෙන්ව ඇත්තේ රථවාහන පිණිසය. ඊට සමාන්තරව තවත් විකල්ප මාර්ගයක් දැක ගත හැක. එම මාර්ගය භාවිතා කළ හැක්කේ ප්‍රධාන පිවිසුමේ සිට පා ගමනින් කෘත්‍රිම වෙරළ තීරය වෙත ගමන් කිරීම පිණිසය. එම මාර්ග දෙක භාවිතා කරමින් පෙ.ව. 8.30 සිට ඕනෑම කෙනෙකුට වරාය නගරය තුළ ඉදිකොට ඇති කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සහ විනෝදාස්වාදය ලබා ගැනීම පිණිස එහි ළඟා විය හැක.

අප රැගත් රථය, රථවාහන සඳහා වූ මාර්ගයේ හැල්මේ ගමනකය. දෙපස දකින්නට ලැබෙන්නේ වරාය නගරය තුළ ඉදිවෙමින් පවතින විවිධ ඉදිකිරීම් ය. දේශීය මෙන්ම චීන ජාතික ශ්‍රමිකයන් ද එම කටයුතුවල නිරත වන ආකාරයක් දැක ගත හැක. කෘත්‍රීමව ඉදිවෙමින් පවතින වෙළෙඳ නගරයක් තුළ තවත් එවැනිම කෘත්‍රීම ඉදිකිරීමක් වූ වෙරළ තීරය වෙත ළඟා වීම පිණිස විනාඩි 10 කට ආසන්න කාලයක් ගත විය. වෙරළ තීරයට ආසන්නව ඉදිකොට ඇති රථ ගාලක් තුළට ඇතුල් වූ අප රැගත් රථයට ගිමන් හැරීම පිණිස අවස්ථාව උදාකළ අප ඉන් අනතුරුව ගමනාන්තය වෙත ළඟා වූවේ පාගමනින්ය. එය වෙනස්ම අත්දැකීමක් ය. එතෙක් නොවිඳි මිහිරක් සහ එතෙක් නොදුටු දර්ශන පෙළක් නෙත සිත සුවපත් කරමින් ඇත.

කිලෝමීටර් දෙකක පමණ දිගකින් යුත් කෘත්‍රීම වෙරළ තීරය අඩි සියයකට ආසන්න පළලකින් යුක්තය. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත වැලිකැට එකට මුසුකොට ඉදිකොට තිබෙන වෙරළ තීරයේ සිට ගොඩබිම දෙස බලන කල කොළඹ උස් ගොඩනැඟිලි දර්ශනය වන්නේ වරාය නගරය දෙස නිහඬව බලා සිටින යෝධයන් පෙළක් ලෙසය. වෙන් වෙන්ව උස ගිය කොළඹ නගරයේ උස් ගොඩනැඟිලි එතරම් දර්ශනීය ලෙස දැක බලා ගැනීමට අලුතින් ඉදිකරන ලද කෘත්‍රීම වෙරළ තීරය හැර වෙනත් තැනක් නැතැයි සිතෙන තරමටම එම දර්ශනය මනස්කාන්ත බවින් යුක්තය.

වේලාව සවස 5.00 ට ආසන්නය. තවත් හෝරාවක් දෙකක් ගතවූ පසු කොළඹ අහසට අඳුර ළඟා වීමට නියමිතය. කෘත්‍රීම වෙරළ තීරයක සජීවී අත්දැකීම විඳ ගැනීම පිණිස බොහෝ දෙනකු එම ස්ථානයට ළඟා වන ආකාරයක් දැක ගත හැක. සතියේ දිනයක් වුව ද වරාය නගරය කෘත්‍රීම වෙරළ තීරය නැරඹීම පිණිස පැමිණෙන ජනතාව අඩුවක් නැත. මේ වනවිට එහි දකින්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ සැඳෑ සුව විඳීම පිණිස බොහෝ දෙනෙක් එම ස්ථානය තෝරා ගැනීමට තීරණය කර තිබීමය. එහි කිසිදු වරදක් නැත. මෙතෙක් මෙරට ජනතාව නොවිඳි අපූර්වත්වයක් විඳ ගැනීම පිණිස එම කෘත්‍රීම වෙරළ තීරය කදිම ස්ථානයක්ය.

ගොඩබිමට පිටුපා බලන කල දර්ශනය වන්නේ වචනයට නැගිය නොහැකි චමත්කාරයක් ය. බැස යන හිරු එළිය තඹවන් දුඹුරු පැහැයක් ගෙන ඇත. ඈත සිට ඇදී එන රළ රැළි වෙරළ තීරය මතින් සිය ගමන නිමා කරනු ලබන්නේ වෙරළ මත රැදි දහස් ගණනක් වූ පා සටහන් මකා දමමිනි. ස්වභාවික වෙරළ තීරයක දකින්නට ලැබෙන රළු රළ රැළි වෙනුවට කෘත්‍රීම වෙරළ තීරයේ හැපී බිඳෙන රළ සංසුන් රිද්මයක් ගෙන ඇත. සිය ගණනක් වූ පිරිස දියට බැස විනෝද වන ආකාරයක් දැක ගත හැක. වරාය නගරය තුළ ඉදිකොට තිබෙන කෘත්‍රීම වෙරළ තීරය මේ වනවිට හුදකලා වෙරළ තීරයක් නොවන බව එහි එක්රැස්ව විනෝද වන දහස් සංඛ්‍යාත පිරිස දකින කල හැඟී යන කරුණක්ය. ජල ක්‍රීඩා පිණිස සහ බෝට්ටු සවාරි පිණිස පහසුකම් රැසක් එම ස්ථානයේ දකින්නට ලැබෙන අතර බොහෝ දෙනෙක් එම ඉසව්වල නිරත වන ආකාරයක් ද එහි ගිය අපට දැකගත හැකි වූහ. එහි අනාරක්ෂිත බවක් නොවුව ද දියට බට මිනිසුන්ගේ ආරක්ෂාව පිණිස ජීවිතාරක්ෂක භටයන් රැසක් ද ඒ අවට රාජකාරියේ නිරත බව අපගේ නිරීක්ෂණයට ලක්වූහ. කෘත්‍රීම වෙරළ තීරයේ සිරි විසිතුරු නැරඹීමෙන් අනතුරුව එම ස්ථානයේ මේ වනවිට පවතින පහසුකම් ආදිය පිළිබඳ යම් සොයා බැලීමක් සිදු කිරීම අපගේ ඊළඟ අරමුණ බවට පත්වූහ. ඒ සඳහා කෘත්‍රීම වෙරළ තීරයේ භාරකාරත්වය හෝ කළමනාකාරීත්වයේ සහාය අත්‍යවශ්‍යය. කෘත්‍රීම වෙරළ තීරයේ ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන තරුණයකුගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු මා හට හඳුන්වාදිය හැකි බවත් ඔහු හා කතාබහ කිරීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකි බවත්ය.

රොබට් මා ඉදිරියේ පෙනී සිටින්නේ ඉන් අනතුරුවය. මෙරට ක්‍රියාත්මක චීන ඉදිකිරීම් සමාගමක් වන Tangdynasty සමාගමේ සාමාජිකයකු වන රොබට් මේ වනවිට එහි වසර 07 ක් පමණ සේවය කර තිබෙන අතර ඔහු මේ වනවිට කටයුතු කරමින් සිටින්නේ කෘත්‍රීම වෙරළ තීරය භාර එම ආයතනයේ කළමනාකාරවරයා වශයෙන් ය. කෘත්‍රීම වෙරළ තීරයත් ඒ ආශ්‍රිත සිදුවන දෛනික කටයුතු පිළිබඳවත් මනා අවබෝධයක් සහිත රොබට් එම තොරතුරු අප හා විස්තර කර සිටියේ මේ අයුරින්ය.

කෘත්‍රීම වෙරළ තීරය කියන්නෙ පෝර්ට් සිටි ව්‍යාපෘතියේම එක් කොටසක් නිසා ඒ ඉදිකිරීම් සම්බන්ධව මට අදහස් ඉදිරිපත් කරන්න බැහැ. නමුත් ඉකුත් 15 වැනිදාට පස්සේ මේ වෙරළ තීරය මහජනයාට විවෘත වුණාට පසුව ඒ අත්දැකීම විඳගන්න මෙහි පැමිණෙන දෙස්, විදෙස් සංචාරකයන්ට ආහාර පාන අලෙවි කරන කටයුත්තෙදී අපි මූලික වෙලා ඒ කටයුතු සිද්ධ කරනවා.

දැනට මේ ස්ථානයේ ආහාර පාන අලෙවි කරන අවන්හල් 23 ක් ක්‍රියාත්මක වෙනවා. ජර්මන්, ඉතාලි, ජපන්, චීන කෑම වර්ග මෙන්ම ශ්‍රී ලාංකික ආහාර වර්ග ඒ අවන්හල් මගින් මිලට ගන්න පුළුවන්. ඊට අමතරව ජුස් බාර්, අයිස්ක්‍රීම් ආදියත් මිලට ගන්න පුළුවන් පහසුකම් දැනට පවතිනවා. මෙතන පවතින තවත් විශේෂත්වයක් තමයි පන්සියයකට පමණ එකවර ආසන පහසුකම් ලබා ගන්න පුළුවන් ආකාරයේ රෙස්ට්ටොරන්ට් පහසුකමක් පැවතීම. මේ ස්ථානයේ ප්‍රිය සම්භාෂණයක් එහෙමත් නැත්නම් වෙනත් උත්සව, හමුවීම් ආදිය පවත්වන්න අවශ්‍ය නම් ඒ පහසුකම් ලබා දෙන්නත් අපට හැකියාව තිබෙනවා. ඒ විතරක් නොවෙයි උදේ 10.00 ට ආරම්භ කරන බෝට්ටු සවාරි රෑ 8.30 පමණ වෙනකම් ක්‍රියාත්මකයි. සාධාරණ මිල ගණන් යටතේ ඒ පහසුකම් ලබා ගන්නත් මේ ස්ථානයට පැමිණෙන ඕනෑම කෙනෙකුට දැන් අවස්ථාව හිමිවෙනවා.

රට වටේම මුහුද තිබුණත් මෙන්න අපට අලුත් වෙරළක්…

රොබට් විසින් පවසන දේ සැබෑවක් ය. බලන බලන අත දර්ශනය වන්නේ විවිධ වර්ගයේ ආහාර පාන අලෙවිය පිණිස විවෘතව පවතින අවන්හල්ය. ඒ අතර මෙරට පමණක් අනන්‍ය වූ තැඹිලි සඳහා ද විශේෂයෙන් විවෘතව පවතින අවන්හලක් දැක ගත හැක. මුහුදු දිය නෑමෙන් අනතුරුව ස්නානය කිරීම පිණිස වෙනම ඉදිකොට ඇති නාන කාමර කීපයක් ද කෘත්‍රීම වෙරළ තීරයේ වෙනම ඉදිකොට ඇත. මේ ආදී පහසුකම් ආදියෙන් සමන්විත මෙරට මුල්වරට ඉදිකරන ලද කෘත්‍රීම වෙරළ තීරයේ වෙරළ උද්‍යානයක් ඇතුළු තවත් බොහෝ දේ ඉදිරියේදී දැක බලා ගැනීමට හැකි වන අතර මෙරට ඕනෑම පුද්ගලයකුට එම සජීවී අත්දැකීම විඳ ගැනීමට ද දැනටමත් හැකියාව ඇත.

කාලය කෙමෙන් කෙමෙන් වියැකෙමින් ඇත. රාත්‍රිය උදා වෙමින් පවතින බැවින් අප කෘත්‍රීම වෙරළ තීරයෙන් සමුගත යුතුව ඇත. තැන තැන විදුලි එළි දැල්වෙමින් ඇත. ගොඩ බිමෙන් කිලෝමීටර් දෙකක් දුරින් පිහිටි කෘත්‍රීම වෙරළ තීරයත් ඒ අවට පරිසරයත් රැයට පවරා ආපසු පැමිණෙන දහස් සංඛ්‍යාත පිණිස අතරට අපට ද එක්වීමට කාලය පැමිණ ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment