ඖෂධ හිගයි රෝගී ජීවිත මරුකටේ  – පිළිකා ඖෂධත් නෑ

308

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය

දිවයින පුරා රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල මෙම දිනවල පවතින උග්‍ර බෙහෙත් හිඟය හේතුවෙන් බෙහෙත් ගබඩාවල ඖෂධ විශාල ප්‍රමාණයක තොග අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ තවත් බෙහෙත් වර්ග විශාල ප්‍රමාණයක තොග අවසන් වීමට නියමිතව ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

දැනටමත් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සියයට 60කට පමණ අවශ්‍ය බෙහෙත් තොග නොමැති අතර එසේ හිඟ බෙහෙත් වර්ග අතර ගැබ් ගෙල, ආහාර මාර්ගයේ පිළිකා සහ ළමා හා රුධිරගත පිළිකා සඳහා අවශ්‍ය බෙහෙත් වර්ග වන බවත් මේ හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බවත් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා පැවසීය. පිළිකා රෝගීන්ට ප්‍රාථමික අවස්ථාවේ ලබාදීම සඳහා භාවිත කරන බෙහෙත් වර්ග 08ක පමණ තොගද මෙම දිනවල අවසන්ව ඇති බව පෙන්වා දෙන ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ඉදිරියේදී තොග අවසන් වීමට නියමිතව ඇති බෙහෙත් වර්ග අතර පිළිකා නාශක, ප්‍රතිජීවක, ළමා සිරප්, ශ්වසන අපහසුතා, හෘද රෝග, දියවැඩියාව හා අපස්මාරය සඳහා භාවිත කරන බෙහෙත් වර්ග වන බව පැවසීය.

මෙසේ අවසන්ව ඇති හා අවසන් වීමට ආසන්න බෙහෙත් තොග කඩිනමින් ගෙන්වා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොමැති බැවින් ඉදිරියේදී රෝගීන් දැඩි අසීරුතාවකට පත් වීමට ඉඩ ඇතැයි පවසන ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා පිළිකා, අධික රුධිර පීඩනය, දියවැඩියාව, අපස්මාරය, හෘද රෝග වැනි රෝගවලින් පෙළෙන රෝගීන්ගේ රෝග තත්ත්වය උත්සන්න වී ඔවුන් රෝහල්ගත කිරීමේ දැඩි අවදානමක් උද්ගත වනු ඇති බව අවධාරණය කළේය.

පෞද්ගලික අංශය විසින් බෙහෙත් මිල ගණන් සියයට 80 සිට 300 දක්වා දැඩි ලෙස ඉහළ දමා තිබීම හේතුවෙන් එම අංශයට රාජ්‍ය අංශයට තරම්වත් බෙහෙත් සැපයීමේ ධාරිතාවක් නොමැති බවත් මෙම තත්ත්වය මත ඉදිරියේදී ඇති විය හැකි සමාජ ආර්ථික ගැටලු අවම කිරීම සඳහා බෙහෙත් හිඟය මගහැරවීමට රජය කඩිනම් පියවර ගත යුතු බව ද ඔහු සඳහන් කළේය.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයට බෙහෙත් සපයා ගැනීම සඳහා පවතින ප්‍රධානම ක්‍රමය වනුයේ ඉන්දීය ණය ආධාර ක්‍රමය වන අතර එම ක්‍රමය යටතේ බෙහෙත් මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉතා දීර්ඝ වන බැවින් එම බෙහෙත් වර්ග ඇණවුම් කිරීමේදී ඉතා විශාල ප්‍රමාදයක් සිදු වන බව හෙතෙම සඳහන් කළේය. මෙම ප්‍රමාදය හේතුවෙන් බෙහෙත් තොග කඩිනමින් නැවත ලබා ගත නොහැකි තත්ත්වයක් පවතින අතර රෝග සත්කාර කටයුතු සඳහා අවශ්‍ය ගෝස්, පුළුන්, ඩෙක්ස්ට්‍රෝස් ආදියේද ප්‍රමාණවත් තරම් තොග මෙම දිනවල වෛද්‍ය සැපයුම් අංශයේ නොතිබීම රජයේ රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමට බාධාවක්ව පවතී. මේ හේතුවෙන් මෙම මොහොතේ මෙම බෙහෙත් හිඟය මගහරවාගැනීම සඳහා ගත හැකි දීර්ඝකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව ඖෂධවේදීන්ගේ සංගමය මෙම දිනවල දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පිළිකා, ප්‍රතිජීවක, නිර්වින්දන, හෘදයාබාධ, බෝනොවන රෝග, අධි රුධිර පීඩන, දියවැඩියාව, වේදනා නාශක සහ පැරසිටමෝල් සිරප් (දරුවන් සඳහා) වැනි අත්‍යවශ්‍ය ඖෂධ රෝහල්වල උග්‍ර හිඟයක් තිබීම නිසා සියලු රෝහල් දැඩි දුෂ්කර තත්ත්වයකට පත්ව ඇතැයි සමස්ත ලංකා වෛi නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම ඖෂධ රැසක් රෝහල්වල නොමැතිවීම හේතුවෙන් ඒවා පෞද්ගලික ඔසුසල්වලින් ලබාගැනීමේ දී රෝගීන්ට, තිබෙන මිල මෙන් හතර ගුණයක් ගෙවීමට සිදුව ඇතැයි ද එම සංගමය පෙන්වා දෙයි.

රාජ්‍ය ඖෂධ සංස්ථාව තොග වෙළෙඳාමෙන් ඉවත්වීම නිසා එය ප්‍රයෝජනයට ගනිමින් මෙරට ‘ඖෂධ මාෆියාව’ රෝගී ජනතාව සූරාකමින් පසුවීම ඉතා කනගාටුදායක තත්ත්වයක් වී ඇතැයි සමස්ත ලංකා වෛi නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛi ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (12දා) පැවසීය.

ඒමන්ති මාරඹේ සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment