කටුකුරුන්දේ ‘ටෂී’ ඝාතනය: ළඟම මිතුරකුගේ කොන්ත්‍රාත්තුවක්!

1071

අට හැවිරිදි දියණියටත් තුවාල

කළුතර, කටුකුරුන්ද දුම්රියපොළ පාරේ පිහිටි නිවසකට පෙරේදා (20 වැනිදා) රාත්‍රි කඩා වැදී ටෂී නමැති තිදරු පියකුට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ දියණියට ද බරපතළ තුවාල කිරීමේ සිද්ධියට ටෂී නමැත්තාගේ සමීප මිතුරකු විසින් පාතාලයට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදු කර ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

‘ටෂී’ නමැත්තා තම සමීප මිතුරකු සමග ආරවුලක් ඇති කරගෙන සිට ඇති අතර එය මුල්කරගෙන එම මිතුරා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

පෙරේදා රාත්‍රි 8.30ට පමණ යතුරුපැදියකින් පැමිණි පාතාල අපරාධකරුවන් දෙදෙනකු විසින් ටී-56 අවියක් යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇත. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ටෂී නැමැත්තාගේ දියණිය ද එහි සිට ඇති අතර ඇය ද තුවාල ලබා තිබේ.

ඝාතකයන් ටෂී නමැත්තාට වෙඩි තබා ඝාතනය කර යතුරුපැදියේ නැඟී පලාගොස් තිබිණි. පසුව ප්‍රදේශවාසීන් විසින් ටෂී නමැත්තාගේ දියණිය රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත. ටෂී නැමැත්තා සිද්ධිය වූ ස්ථානයේ දීම මියගොස් තිබේ.

මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ අරුසුමුණි ටෂ්මින් මදුවන්ත සිල්වා නොහොත් ටෂී නමැත්තා තිදරු පියෙකි. 39 හැවිරිදි වියේ පසුවූ මොහු මිනිස් ඝාතනයක සහ තවත් අපරාධ කීපයක සැකකරුවකු බවද පොලිසිය පවසයි.

තුවාල ලබා රෝහල්ගත කර සිටින 8 හැවිරිදි දියණියගේ තත්ත්වය අසාද්‍ය නොවන බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර, සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු, එස්. ආරච්චිගේ – කළුතර

advertistmentadvertistment
advertistmentadvertistment