කරුවලගස්වැව දී රිය අනතුරක් කළ රංගේ ගේ පුත්‍රයාට ඇප – ලයිසන් අත්හිටුවයි

334

පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුත් යසෝධ රංගෙ බණ්ඩාර රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් සබ්රී මොහොමඩ් මහතා නියෝග කළේය. සැකකරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග ලබා දුන්නේය.

යසෝධ රංගෙ බණ්ඩාර ඉකුත් 29 දා අලුයම පුත්තලම ප්‍රදේශයේ සිට කරුවලගස්වැව තබ්බෝව බලා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී කරුවලගස්වැව 6 කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටී අනතුරකට ලක්ව තිබේ. අනතුරෙන් ත්‍රිරෝද රථයට බරපතළ හානි සිදුවී ඇති අතර එහි රියැදුරු තුවාල ලබා පුත්තලම මහ රෝහලට ඇතුළත් කර ඇත.

එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් රාජාංගනය යාය හත ප්‍රදේශයේ හිමිනමක් අනතුර දැක රථය නවතා විමසා බැලීමට යෑමේදී යසෝධ රංගෙ බණ්ඩාර, හිමිනම පැමිණි වාහනය රැගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පැවසේ. තම සුඛෝපභෝගී වාහනය යසෝධ රංගෙ බණ්ඩාර රැගෙන යෑම සම්බන්ධයෙන් හිමිනම විරෝධය පළ කළ ද පසුව එය සමථයට පත්ව දෙපාර්ශවයේ එකඟතාව මත පොලිසියේ පැමිණිල්ලක් සිදු කර නැත.

අනතුර සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිසිය මගින් පසුව අත්අඩංගුවට ගත් යසෝධ රංගෙ බණ්ඩාර පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර ඔහුට එරෙහිව නිබූ චෝදනා සැලකිල්ලට ගෙන යසෝධ රංගෙ බණ්ඩාරගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

යසෝධ රංගෙ බණ්ඩාර මීට පෙරද අවස්ථා කීපයකදී අනතුරු සිදු කර ඇති බවත් නවගත්තේගම ඉගිනිමිටිය ප්‍රදේශයේ දරුවන් දෙදෙනකු සමග මව සහ පියා ගමන් ගත් යතුරුපැදිය අනතුරට ලක්කිරීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ඔවුන්ට දීර්ඝ කාලයක් එක්තැන්ව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ බවත් පොලිසිය පවසයි.

මහවැව – අමරනන්ද විජේසේකර

advertistmentadvertistment
advertistmentadvertistment