ජංගම දුරකථන ගනුදෙනුව  මන්නා හා කඩුවලින් කෙළවර වෙලා – සැමියා මියයද්දී බිරිඳ හා පුතාට බරපතළ තුවාල

586

කොළඹ, කෙසෙල්වත්තේදී ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් (07 දා) රාත්‍රී ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් ඇතිවූ ගැටුමකදී එක් පුද්ගලයකු මරුමුවට පත්වී කාන්තාවක ඇතුළු දෙදෙනකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ගතකර ඇත්තේ ඝාතනයට ලක්වූ අයගේ බිරිඳ සහ පුත්‍රයා වේ.

ඝාතනයට ලක්වී ඇත්තේ කොළඹ 12, කෙසෙල්වත්ත ශාන්ත සෙබස්තියන් වීදියේ පදිංචිව සිටි කැලුම් දේවප්‍රිය නමැති 43 හැවිරිදි අයෙකි.

ඝාතකයන් මරණකරුට කඩුවලින් හා මන්නාවලින් කොටා ඇතැයි හෙළිවූ බවද පොලිසිය පවසයි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශය අත්හැර පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

ඝාතනයට ලක්වූ අයගේ ජංගම දුරකථනයක් විකුණාදෙන්නැයි කියා පුද්ගලයකුට ලබාදී තිබේ. පසුව අදාළ පුද්ගලයා එම ජංගම දුරකතනය විකුණා ඇතත් එම ලැබුණු මුදල් මරණකරුට ලබාදී නොමැත. මේ සම්බන්ධව දෙදෙනා අතර අවස්ථා කීපයකදී බහින්බස් වීම් සිදුවී ඇත. සිද්ධිය වී ඇති දිනද මරණකරු සැකකරුගෙන් විමසීමේදී එය ආරවුලක් දක්වා දුරදිගගොස් ඇති අතර එහිදී මෙම අපරාධය සිදුවී තිබේ.

මේ පිළිබඳව සහකාර පොලිස් අධිකාරි (4) අසිත සිල්වා මහතාගේ අධීක්‍ෂණය යටතේ කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් බමුණුසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment