පාර්ලිමේන්තුව – ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් අනිවාර්යයෙන් පවත්වනවා

127

ක්‍රිකට්වලට අලුත් නීති ගෙනත් නිවැරදි කණ්ඩායමක් තෝරාගත යුතුයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ඡන්දය තියන්න වගකීම් භාරගන්න අපි සූදානම් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

කණ්ඩායම් දෙකක් අතර තිබෙන අරගලයක් හේතුවෙන් ක්‍රිකට් පිරිහුණු බත් අලුත් නීති ගෙනවිත් නිවැරදි කණ්ඩායමක් තෝරාගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) පැවසීය.

පාර්ලිමේන්තුව - ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් අනිවාර්යයෙන් පවත්වනවා

ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් ලබන වසරේ දී අනිවාර්යයෙන් පවත්වන බවත් ඊට පසු වසරේ දී පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණයත් පැවැත්වීමට කටයුතු කරන බවත් ජනපතිවරයා අවධාරණය කළේය.

අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය. විවාදය ආරම්භ කරමින් කතා කළ ජනාධිපතිවරයා මෙසේ ද කීය.

අයවැය දෙවන වර කියවීම සඳහා ඡන්දය දුන් සැමට ස්තුති කරනවා. අද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර තිබෙනවා. විපක්‍ෂයට පුළුවන් වැය ශීර්ෂයට ඡන්දය දීලා පෙන්වන්න. හිටපු ජනාධිපති රාජපක්ෂ නීතිඥයෙක්. ඔහුගේ වැඩකටයුතු ඔහු බලාගනියි. උසාවියට යන කාට වුණත් නිදොස් නම් නිදොස් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය රටේ තියෙනවා. අපි ඡන්දයකට බයයි කියලා කොහොමද කියන්නේ. මම ජනාධිපති ඡන්දයයි, පාර්ලිමේන්තු ඡන්දයයි දෙකම ලබන වසරේ පවත්වනවා. පළාත් පාලන ඡන්දය හා පළාත් සභා ඡන්දයත් ඊළඟ අවුරුද්දේ පවත්වනවා. එකක්වත් කල් දාන්නේ නෑ.

විපක්‍ෂ නායකතුමා නඩුවක් ගැන ප්‍රශ්න කළා. නඩුව තියෙන්නේ ඒ. බී. සී. එන්ටර්ප්‍රයිසස් ත්‍යාගරාජා විනයමූර්ති, මාපා පතිරණ හා තවත් 24දෙනකුට නීතිපතිවරයා දාලා තියෙන නඩුවක්. ඒක දාලා තියෙන්නේ 2023, 2021 වර්ෂ තුළ ත්‍රිකුණාමලය බන්ධනාගාරයට වියළි ආහාර හා පාන් සැපයීම සඳහා තාක්ෂණ ඇගයීම් කමිටුව කරන ලද නිර්දේශ අනුවයි.

ත්‍රිකුණාමලය බන්ධනාගාරයට වියළි ආහාර හා පාන් සැපයීමේ ටෙන්ඩරය ඒබීසී එන්ටර්ප්‍රයිසස් වෙත සැපයෙන්නේ පෙත්සම්කරුගේ මානව අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කිරීමත් රුපියල් ලක්‍ෂ 25ක වන්දිය ලබා ගැනීමටත්ය. මට මෙයින් වුවමනා මොනවාද කියලා පැහැදිලි කළොත් නීතිපතිතුමාගෙන් ඉහලා කියන්නම්. ත්‍යාගරාජා ගැනද මාපා පතිරණ ගැනද වසන්ත පෙරේරා ගැනද වියළි ආහාරද, පාන්ද කියලා කිව්වොත් ඒ ගැන හොයලා කියන්නම්.

පොදු දේපළ පනත තමයි නඩුවට තිබෙන ප්‍රශ්නය. හිටපු ජනපති අවශ්‍ය පියවර ගන්නේ නෑ කියලා එහි තියෙන්නේ. මේ ගැන පුළුල් විග්‍රහයක් කළ යුතුයි. මේකට තව තවුද අයිති කියලා. කැබිනට් මණ්ඩලය අයිතිද තව කවුරුත් අයිතිද බැලිය යුතුයි. පිරිස ඉල්ලා අස්වූ පසුව ජනපති සම්ප්‍රදායානුකූලව විපක්ෂ නායකට ආරාධනා කළා. විපක්ෂ නායකයා ආණ්ඩුවක් හදන්නේ නැතිව පැනලා ගියා. මට අගමැතිකම රාජපක්ෂලා දුන්නේ නෑ. මන්ත්‍රීවරු මට ආරාධනා කළා. මම ගිහින් භාර ගත්තා. දැන් මට සහයෝගය දිය යුතුයි. මේවා කරන්න ගිහින් මගේ ගේ ගිනි තිබ්බා. පා්ලිමේන්තුව වැටලුවා.

ක්‍රිකට් ප්‍රශ්නයේ දී මට චෝදනා කර තිබුණා. එක එක අය ආරක්ෂා කරනවා කියලා. කණ්ඩායම් දෙකක් අතර තිබෙන අරගලයක් නිසා ක්‍රිකට් පිරිහුණා. ඒක ඇත්ත. ඊට විසඳුම නීතිය ගෙනවිත් හරි කණ්ඩායමක් තෝරමු. චිත්‍රසිරි වාර්තාව ගෙන සකස් කරන්න කිව්වා.

මම ඇමැතිතුමාට කිව්වා නඩුව ඔහොම ගෙනයන්න එපා අපිට අයිසීසී නැතිවෙනවා. මැච් නැතිවෙනවා. සංචාරකයන් නැතිවෙනවා කිව්වා. නඩුවකට පැටලුනොත් ලේසියෙන් නඩුවෙන් බේරෙන්න බැහැ කියලා අපි ආපසු කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා. ඇමැතිතුමා කිව්වා නීතිඥයෙක් ඕන කියලා. මම කිව්වා හෙට අනිත් අය නඩු දාන්න යනවා. ඒ අවස්ථාවේ දී ඔබ සූදානම් වෙන්න ඕන කිව්වා. නීතිපති, හිටපු ජනපති හිටියා. මම නීතිපතිට කිව්වා ඇමැති වෙනුවෙන් පෙනී ඉන්න කියලා. එදා මේ අය යනවිට දහයාමාරයි. නඩුව ඉවරයි. මොකද ප්‍රශ්නේ කියලා හොයන්න ඕන. මම ඇමැතිගෙන් වාර්තාවක් ඉල්ලන්න ඉන්නෙ ඒ පිළිබඳව. ඒත් එතැනට වෙලාවට ගියානම් යම් තීන්දුවක් දෙන්න තිබුණා. තහනම් නියෝගය වලංගුද නැද්ද දන්නේ අවසන් වුණාමයි. මම ජේශාට කතා කළා. අයිසීසී එකට පණිවුඩයක් යැව්වා. ඔවුන් කියන්නේ දේශපාලනය ගෙනල්ලා මේකට මැදිහත් වුණා කියලා. මට ශම්මි සිල්වා ආරක්ෂා කරලා වැඩක් නෑ. එගොල්ලන්ට එරෙහිව චෝදනා තියෙනවා. නීති අවශ්‍යයි කියලා මම කියන්නේ ඒකයි. ඒත් ඔවුන් කියන්නේ අපි මැදිහත් වුණා කියලා. විරුද්ධව චෝදනා දෙකක් තියෙනවා. එකක් තමයි මේ සභාව ක්‍රිකට් මණ්ඩලය විසුරුවා හැරීම. ඒකට අධිකරණය දෙයි හරිද වැරැදිද කියලා. පාර්ලිමේන්තුව එකතු වුණා කියලයි ඔවුන් කියන්නේ. ඇමැතිතුමා නැගිට කතා කළාම විපක්‍ෂය ඊට එක්වුණා.

සිදුවුණ එක වෙලා ඉවරයි. සභාව වැරැද්ද පිළිගත යුතුයි. නිමල් සිරිපාල ඇමැති විනිසුරුවන්ගෙන් සමාව ඉල්ලුවා. අපි කළේ වැරැදි වැඩක්. විනිසුරුවන්ට බැන්නා. ඒක තාවකාලික නියෝගයක්. පස්සේ දවසේ ගිහින් ඒක නවත්තගන්න තිබුණා. හැමදාම වෙන දෙයක්. එහෙත් විනිසුරුවන්ට චෝදනා කළා.

ඒ විනිසුරුට චෝදනා කළේ ඩයනා ගමගේගේ නඩුවක් අහපු නිසා. මම තෝරපු අය නොවෙයි. අගවිනිසුරුතුමා තෝරලා කිව්වා රාජකරුණාව අභියාචනාධිකරණයට සහභාගි කරන්න කියලා. වරප්‍රසාද කියලා පාර්ලිමේන්තුවේ ඉඳලා හැංගිලා ගහන්න බෑ. ස්ථාවර නියෝග අනුව අපි ඒ යෝජනාව සම්මත කළේ නෑ. කොහොමද සභාව වැඩ කරන්නේ. අපේ වැඩ අපි කරනවා. අධිකරණයේ වැඩ අධිකරණයේ තියෙනවා. මම විනිසුරුවකුට කිසිදාක දොස් කියලා නෑ. අපිව නඩු තීන්දු විවේචනය කරන්න පුළුවන්. විනිසුරුවන් විවේචනය කරන්න බෑ. ඒක ස්ථාවර නියෝග යටතේ කරන්න ඕන. එහෙම නම් අපට වරප්‍රසාද ඉල්ලන්න බෑ. මීට පෙර මෙහෙම සිදුවී නෑ. අපි අපේ වැඩ කරමු. අධිකරණයේ වැඩ ඔවුන් කරයි.

රැකව මැතිතුමා එජාපයේ අපි එකට වැඩ කළේ. ප්‍රේමාද ජනපති කිව්වා ඔහුට ඡන්දෙ ඉල්ලන්න කියලා. ඔහු මේ සභාවේ උප සභාපති ලෙස ක්‍රියා කළා. ඔහුට පහර ගහන්නේ ඇයි? ඔහු ප්‍රේමදාස ජනපතිව විශ්වාසය තිබුණ අයෙක්. මට විශ්වාස අයෙක්. මම වියට්නාමයේ තානාපති කළා. එදා පාර්ලිමේන්තුවේ පෙන්නුවේ මමත් හිටිය පිංතූරයක්. බන්දුල කරුණාරත්න විනිසුරු දිවුරුම්දීමට ජනාධිපති කාර්යාලයට ආවා. රැකව මහතාටත් මම එන්න කිව්වා. ඔහුගේ පුතත් මම දන්නවා. ඔහු මේ වැඩ කරන්න යන්නේ නෑ. අපි දැන් රැකවටයි පුතාටයි ගහනවා. අධිකරණය සමග රණ්ඩුවකට යන්න බෑ.

ව්‍යවස්ථාදායක මණ්ඩලය පාර්ලිමේන්තුවේ කොටසක් නොවෙයි. එය විධායකයේ කොටසක්. ජනාධිපතිතුමාට පත්වීම් දෙනවිට එයට ආධාර කිරීම, පත්වීම් සුදුසුද නැද්ද කියලා කියනවා. දූෂණ විරෝධී කොමිෂන් සභාව පත් කළා. මම කොමසාරින්වරුන්ගෙන් නම් එනකන් මම බලාගෙන ඉන්නවා. මාස තුනක් පහුවෙලා. දූෂණය ගැන කතා කරනවා තාම කොමිසම පත් කරගන්න බැරිවෙලා. දෙතුන් දෙනෙක් ප්‍රශ්න අදිනවා.

මෙහෙම ව්‍යවස්ථාදායක සභාව කරගෙන යන්න බෑ. අපි තේරීම් කාරක සභාවක් දාලා කරන්නේ කොහොමද බනමු. මේක නිසා අද මුළු අධිකරණයම හිරවෙලා. සභාව තියෙන්නේ නීති නිෂ්පාදනය කරන්න. හැමදාම වැඩපටන් ගන්නකොට දවල් එක පහුවෙනවා. ජනතාව අපට ගෙවන්නේ රඟපාන්න නොවෙයි. නීති සම්පාදනය කරන්න. රඟපාන්න පාරට ගිහින් පුළුවන්. මම කැබිනට් මණ්ඩලයට යෝජනා කරනවා අලුත් සංශෝධනයක් ගේන්න කියලා පාර්ලිමේන්තුවේ පළවෙනි පැයෙන් පස්සේ ප්‍රධාන වැඩකටයුත්තකට යන්න ඕන. නීති ගණනාවක් ගේන්න තියෙනවා ලබන වසරේ. මන්ත්‍රීවරුන්ට මැතිවරණවලට තමන්ගේ ආසනවලට යන්න තියෙනවා. ඒවා කරන ගමන් මෙතන හිරවෙන්න බෑ.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස :

පාර්ලිමේන්තුවේ තිබෙන 225ට වඩා ලක්‍ෂ 220 ඡන්දය අපට වටිනවා. නැතිනම් ලක්‍ෂ 220 ඡන්ද බලන්න පළාත් පාලන මැතිවරණය පවත්වන්න. මහපාරේ පොදු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී මතයයි අපිට වටින්නේ. එජාපයට ලක්‍ෂ දෙකහමාරක් ඡන්ද ලැබුණා. ඒකට දිස්ත්‍රික් මන්ත්‍රීධුර නෑ. පිං මන්ත්‍රීධුරයක් පමණයි ලැබුණේ.

නඩු අංකයක් වෙනස්වීම ගැන ජනාධිපති ලොකු තෘප්තියක් ලැබුවා. ඒ වැරැදීම ගැන මම වගකීම ගන්නවා. වගකීම හා වගවීම භාරගන්න මට හැකියි.

මම ඇහුවේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂලා, අජිත් කබ්රාල්, පී. බී. ජයසුන්දර ඇතුළු පිරිස රට බංකොලොත් කළ බව කියන තීන්දු ගැනයි. නඩු අංකයේ වෙනස්වීම අල්ලගෙන ගෝලයන්ට චූන් එකක් ලබා දුන්නා.

ජනාධිපතිතුමා එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කළා. බැසිල් රාජපක්ෂට මුහුණටම දොස් කිව්වා එහෙනම් මේ වැරැදිකරුවන්ට දැන දැනම ආරක්ෂා කරන්න ඇයි?

අපි වගකීම් භාරගන්න අපි සූදානම්. තියන්න ඡන්දයක්. ජනවරමකින් බලය ගන්න අපි ඕනෑම වෙලාවක සූදානම්.

ජනාධිපති පෙන්නන පිංතූරය නොවෙයි එදා ක්‍රීඩා ඇමැති පෙන්නුවේ. එහි මැද්දෙ ඉන්නෙ ක්‍රිකට් සභාපති. කවුරුහරි ජනාධිපති නොමග යවලා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment