වඩිවේල් පක්‍ෂයෙන් දොට්ට – ෆවුසිට අරවින්ද කුමාර්ට විනය පරීක්‍ෂණ – සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරයි

208

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල සුරේෂ් මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමටද එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය සිකුරාදා (20 දා) සවස රැස්වූ අවස්ථාවේදී ඒකමතිකව තීරණය කර ඇත.

ඊට අමතරව සමගි ජන සන්ධානයේ මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. ඔහුට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යැවීමටද තීරණය කළ බව සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින’ට පැවසීය.

සමගි ජනබලවේගයේ විවිධ තීන්දුවලට හා ප්‍රතිපත්තිවලට එරෙහිව පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී ක්‍රියා කිරීම හේතුවෙන් එම මන්ත්‍රීවරුන් තිදෙනාට එරෙහිව මෙලෙස දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේය.

ඊට අමතරව පක්‍ෂයේ ආසන මට්ටමින් කාර්යක්‍ෂමව සංවිධාන කටයුතු මෙහෙයවීමට අපොහොසත්ව සිටින ආසන සංවිධායකයන් සම්බන්ධයෙන්ද විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පක්‍ෂය තීරණය කළ බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment