අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා මහ පෙරහැර අද

122

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා මහ පෙරහැර 2023 අගෝස්තු 01 වන දින පැවැත්වීමට සියලු කටයුතු දළදා පෙරහැර කමිටුව විසින් සූදානම් කර ඇත.

මේ පිළිබඳ අවසන් සාකච්ඡාව සඳහා අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, අභයගිරි චෛත්‍යාරාමාධිපති කල්ලංචියේ රතනසිරි නාහිමිපාණන් සහ මිරිසවැටි චෛ්‍යාරාමාධිපති වැලිහේනේ සෝභිත නායක ස්වාමීන් වහන්සේලාගේ හා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතාගේ සහභාගිත්වයෙන් ප්‍රධාන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී දළදා පෙරහැර කමිටුව රැස්විය. චාරිත්‍රානුකූල පෙරහැර එක් දිනක් පමණක් ඇතුළුව සංචාරය කරනු ලබන අතර සියලු සංස්කෘතිකාංගවලින් සමන්විතව මෙවරත් ශ්‍රී දළදා පෙරහැර පැවැත්වේ. චාරිත්‍රානුකූලව දළදා කරඬුව ජය ශ්‍රී මහා බෝ සමිඳු ඉදිරිපිටින් හස්තිරාජයා පිට තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර ආරම්භ වී පෙත් මඟ ඔස්සේ ගමන් කර පුරාණ ඓතිහාසික දළදා මාලිගාව වෙත ගමන් කර එහි වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව අභයගිරිය චෛත්‍යය දක්වා ගමන් කර එහි දී පෙරහැර අවසන් කරනු ලබයි. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම දළදා පෙරහැර උතුරු මැද පළාත් සභාව මගින් අදාළ අනිකුත් රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් සංවිධානය කරනු ලබයි. උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, ප්‍රධාන අමාත්‍යාංශය හා සංස්කෘතික දෙපාර්තමේන්තුව සියලු කටයුතු සංවිධානය කර මෙහෙයවයි. මෙවර ශ්‍රී දළදා පෙරහැර සඳහා දළදා කරඬුව වැඩමවීම හස්තිරාජයා ඇතුළු අලි ඇතුන් 03 දෙනකු ද නැටුම් කණ්ඩායම් 10ක් ඇතුළුව සංස්කෘතිකාංග රැසකින් ද සමන්විත වේ. මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, පළාත් අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් අභය ලක්ෂයේ හේවාපතිරණ, ආණ්ඩුකාර ලේකම් සුජන්ත ඒකනායක, පළාත් පාලන කොමසාරිස් එන්.එච්.ආර්. නිශාන්ත, නාගරික කොමසාරිස්, සංස්කෘතික අධ්‍යක්ෂක ඇතුළු පළාත් සභා නිලධාරීන්, ආරක්ෂක අංශ නියෝජිතයන්, ජල සම්පාදන මණ්ඩලයේ සහ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වූහ.
තලාව – වසන්ත බණ්ඩාර කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment